අපට ණය දෙන රටවල් සාකච්ඡාවට කැඳවන්නැයි ජපානයෙන් ඉල්ලනවා

ජනපති රොයිටර්ස් පුවත් සේවයට පවසයි

මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට චීනය, ඉන්දියාව ඇතුළු ඉන්දීය සාගරයේ ප්‍රධාන ණය දෙන රටවල්වලට ආරාධනා කරන්නැයි තමා ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රොයිටර්ස් පුවත් සේවය සමඟ පෙරේදා (18) සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ලබන මස ජපානයට ගොස් අගමැති ෆුමියෝ කිෂිඩා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරයා කීය.

මේ මස ඉදිරිපත් කරන අතුරු අයවැයෙන් පසුව 2023 සඳහා පූර්ණ-වාර්ෂික අයවැයක් නොවැම්බර් මස ඉදිරිපත් කරන බව කී ජනාධිපති වික්‍රමසිංහ මහතා එහිදී පුළුල් ප්‍රතිසාධන සැලැස්මක් ගෙනෙන බවත් ප්‍රකාශ කළේය.

එම අයවැය දෙකෙන්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන අතර, පළමුවැන්න මගින් ආර්ථිකය ස්ථාවර කිරීම සහ දෙවැන්න මගින් එය ප්‍රකෘතිමත් කිරීමට සැලසුම් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. සමස්තයක් වශයෙන්, සංචාරක සහ තේ නිෂ්පාදනය මත දැඩි ලෙස රඳා පවතින මෙරට ආර්ථිකය 2023 දෙවැනි භාගයේදී යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා 2025 වන විට 3%ක පමණ ආදායම් අතිරික්තයක් කරා ළඟා වීමට තමන් අපේක්ෂා කරන බවත් කීවේය.

තරගකාරි, අපනයන ආර්ථිකයකට නැඹුරු වන බවත් අවධාරණය කළ ජනාධිපති වික්‍රමසිංහ මහතා ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා සිදු වෙමින් පවතින බවත්, මේ වන විට ඒවා ධනාත්මක බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.