මණ්ඩලයෙන් වී ටොන් 209ක් පෙරේදා අරගෙන

නාඩු රු. 120

සම්බා රු. 125

කීරි සම්බා රු.130

වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා මඟින් පෙරේදා (18) දිනය තුළ වී මෙට්‍රික් ටොන් 209ක් මිල දී ගෙන ඇත.

අම්පාර දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය හා උතුරු ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා මගින් මේ වී තොග නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් වශයෙන් මිලට ගෙන තිබේ.

දැනට අස්වනු කපා අවසන් කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක සහ අස්වනු නෙළමින් තිබෙන දිස්ත්‍රික්ක කිහිපයක ගොවින්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 55ක් පෙරේදා (18) දින තුළ විවෘතව තැබීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කළ අතර, ඊයේ (19) දිනය තුළ ගබඩා 75 – 100 දක්වා ප්‍රමාණයක් වී මිලදී ගැනීමේ කටයුතු සඳහා විවෘතව තබන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට උපදෙස් දී තිබේ.

එමෙන්ම වී මිලදී ගැනීමට විවෘතව තබන ගබඩා ප්‍රමාණය තවදුරටත් වැඩි කරන ලෙසද වී අස්වනු නෙළන ප්‍රදේශ අනුව ගබඩා විවෘතව තැබීමද ක්‍රමානුකූලව පුළුල් කිරීමට සැලසුම් කරන ලෙසද ඇමැතිවරයා උපදෙස් දී ඇත.

ප්‍රදේශ ගණනාවක මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී තිබෙන අතර, වෙළෙඳපොළේ වී කිලෝවක මිල ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා ගොවි ජනතාවගේ වී අස්වනු කුණු කොල්ලයට මිලදී ගැනීමට ඇතැම් ව්‍යාපාරිකයන් කටයුතු කරමින් සිටී. එම තත්ත්වය නිසා වී කිලෝවක් සඳහා අවම මිලක් දෙමින් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගන්නා ලදි. කෘෂිකර්ම ඇමැතිවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කළ ‘PMB Rice‘ සහල් නිෂ්පාදන කටයුතු ඉදිරි කාලය තුළ පුළුල් කිරීමටත් වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.