අරගල මර්දනය කිරීම වගේම අරගලය වැරදි පැත්තට පීලි පන්නන එකත් අපරාධයක් – ටිල්වින් සිල්වා

අරගලයේ ජන බලය – නුගේගොඩ රැලියේදී අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපි අද නුගේගොඩට ආවේ පැහැදිලි පණිවිඩයක් අරගෙන. මේ ආණ්ඩුව, මේ ජනාධිපති අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා ජනතාව කැමති අලුත් ආණ්ඩුවක් හදාගන්න ජනවරමක් ලබාගන්න පාර්ලිමේන්තුව විසුරුවා බැහැලා යන්න කියන පණිවිඩය දෙන්නයි අපි ආවේ. මේ ආණ්ඩුවේ ඉන්න අයට මේ පණිවිඩය ඇහෙන්න ඕනෙ කියලා අපි හිතනවා. පසුගිය මාර්තු මාසයේ ගෝඨාභය රාජපක්ෂට පණිවිඩයක් දෙන්න අපි මෙතනටම ආවා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂට බලය දාලා යන්න සිද්ධ වුණා. දැන් අරගලය අවසන් නැහැ. කවුරු නැතත් ජාතික ජන බලවේගයේ අපි ගෝඨාභයගෙන් පස්සේ ජනාධිපති වී ඉන්න රනිල් වික්‍රමසිංහත් ඔහුගේ පාර්ලිමේන්තුවත් ගෙදර යවලා අලුත් ජනවරමක් ගන්න සටන් කරන්න ලැහැස්තියි කියන පණිවිඩය ලබාදෙනවා. ගෝඨාභය ගිහින් රනිල් ආවාට පස්සේ අරගලයට යම් විරාමයක් ආවා. ඒ විරාමය තුළ පොලිසිය පොලු ඔසවන්න පටන්ගෙන තිබෙනවා. මර්දනය දියත් කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ අයට අපිට කියන්න තිබෙන්නේ ඔබලා අපායේ ඉන්ටර්වල් එකක ඉන්න බවයි. වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් මේ ඉන්ටර්වල් එක ඉතා ඉක්මනින් අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවනවා.
අපේ රටේ ජනතාව මුහුණදී සිටින බරපතළ ප්‍රශ්න ගණනාවක් නිසා ඔවුන් පාරට බැස්සා. ඒ වෙනුවෙන් හේතු වුණු ආර්ථික සහ දේශපාලන ගැටලු තාමත් තිබෙනවා. ඇත්ත ගත්තොත් මේ විරාමය කියන්නේ දෙවෙනි සටනට සූදානම් වීමයි. පළවෙනි අරගලයේ අඩුලුහඬුකම් සියල්ල තේරුම් ගෙන දෙවැනි අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට සූදානම් වීමයි මේ තියෙන්නේ. ඒ අරගලය අයාලයේ යන අරගලයක් නොවෙයි. මේ නිසා අරගලය කළ අය බියවද්දන්න, මර්දනය කරන්න උත්සාහ කළත් අපි බය නැහැ. බය වෙන්න ඕනෑ ඕගොල්ලෝ. මේ ගොල්ලන්ගේ මර්දනයට කවුරු බය වුණත් ජාතික ජන බලවේගයේ අපි කවුරුවත් බය නැහැ. ජනතාව පාලකයන්ට බයේ ජීවත් විය යුතු නැහැ. වැරදි කළ ඒගොල්ලොයි ජනතාවට බයේ ඉන්න ඕනෑ. අද තෙල් පෝලිම් නැත්තේ ප්‍රශ්නය විසඳූ නිසා නොවෙයි. තෙල් නැති නිසා, සලාකයක් හදලා තිබෙන නිසයි. රටේ සියල්ල බිඳ වැටිලා තිබෙන්නේ. අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය බිඳවැටිලා. බඩුමිල වැඩිවෙලා. අර්බුදය යන්නේ රටේ සමස්ත නිෂ්පාදනයම කඩා වට්ටමින්. නමුත් රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහා බලාගෙන සින්දු කියනවා.

පාර්ලිමේන්තුව අමතලා රනිල් වික්‍රමසිංහ කිව්වේ 2048දී අපේ රට ගොඩගන්නවා කියලයි. පිනට හම්බවුණු ජනාධිපතිකම අරගෙන රාජපක්ෂවරුන්ට වගකියමින් ජනතාවට වගනොකියමින් ඉන්නවා. ඒ නිසා රාජපක්ෂලා පත්කළ ජනතා ද්‍රේහී පාලනයක් වෙනුවට මේ පාර්ලිමේන්තුව අයින් කර, ජනතාවගේ කැමැත්තෙන් අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ බලන්නේ මේ අපරාධකාරයන් එක්ක තව අවුරුදු තුනක් පාලනය ගෙන යන්නයි. එතෙක් බලාගෙන ඉන්න අපි සූදානම් නැහැ. ඒ නිසා බඩු මුට්ටු පොදි බැඳගෙන බැහැලා යන්න සූදානම් වෙන්න කියලා අනතුරු හඟවනවා.
රනිල් වික්‍රමසිංහ පරණ නාඩගම් නැවත පටන්ගෙන පරණ හොරු ගේන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂත් නැවත ගේන්න හදනවා. මේ තත්වයන්ට එරෙහිව ජනතාවගේ අරගලයක් තිබෙනවා. අරගලයට එරෙහිව ආණ්ඩුව කරන බාධාවලට අමතරව කුඩා කණ්ඩායම් කරන බාධාවනුත් තිබෙනවා. අරගලය මර්දනය කිරීම අපරාධයක් වගේම අරගලය වැරදි පැත්තට පීලි පන්නන එකත් අපරාධයක්. අරගලය නිවැරදි මාවතකට ගෙන යන්නේ නැතිව කැළෑ වැද්දුවොත් මහජනතාවගේ ශක්තිය අපතේ යනවා. එය අපතේ නොයන්න නම්, නිවැරදි දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනෑ. එවැනි නායකත්වයක් දෙන්න හැකියාව තියෙන්නේ ජාතික ජන බලවේගයට විතරයි.

නිෂ්පාදනය නොකර, වත්කම් උපයන්නේ නැතිව පසුගිය කාලයේ ණයට කෑවා. මත්තල විකුණන්න දැනටමත් සූදානම්. කෑලි කෑලි විකුණන ආර්ථිකයකින් ඉස්සරහට යන්න බැහැ. ලෝක වෙළඳපොළට භාණ්ඩ සහ පුහුණු ශ්‍රමය යවන ආර්ථිකයක් අපට ඕනෑ. ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස සෑමදෙනාටම බෙදීයන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනෑ. එහෙම ආර්ථිකයක් හදන්න අපි ලැහැස්තියි. එවැනි ගමනක් අපි යා යුතුයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවන්න පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගන්න තව අවුරුදු තුන හතරක් බලාඉන්න ජනතාව සූදානම් නැහැ. ලිබරල් නායකයෙක්, මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්, විදිහට පෙනී සිටින රනිල්, රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක් කරන්නේ. වංචා, දූෂණ සිදුකළ නායකයන් උස් පුටුවල සිටිද්දී රටක් හදන්න බැහැ. නඩු අහලා හොරා කාපු හැම සතයක්ම රට වෙනුවෙන් නැවත පවරා ගන්න ඕනෑ.

අපිට ඉක්මන් ඡන්දයක් ඕනෑ. ආසාවකට නොවෙයි. මේ රට හදන්න. රනිල් මර්දනය ගේන්න හැදුවත් එයාට එහෙම කරන්න බැහැ කියලා අපි කියනවා. පසුගිය කාලයේ මර්දනයක් දියත් කරන විට ඒ ආණ්ඩු එක්ක කිසියම් ජනතාවක් හිටියා. අද රනිල්ටත් ජනතාවක් නැහැ, ආණ්ඩුවක් නැහැ, පක්ෂයකුත් නැහැ. ඒ නිසා අපි බය වෙන්න උවමනා නැහැ. එයා පැනවූ හදිසි නීතිය ඉවත් කර ගන්න යන්නෙත් ඒ නිසයි.

සටන නැවත පටන් ගන්න ඕනෑ. දැවැන්ත අමාරුකම් මැද්දේ දස දහස් ගණන් ජනතාවක් නුගේගොඩට ඇවිත් සටන පටන් ගත්තේ ඒ නිසයි. බස්වලට විතරක් රුපියල් ලක්ෂය ඉක්මවා අය කරන අසීරු තත්වයක් තිබෙන්නේ. ඒ මැද්දෙත් මේ අරගලය කරන්නේ සතුරාට ශක්තිමත් වෙන්න, අවස්ථාව නොදෙන්නයි. මේ රටේ දේශපාලන බිමේ වාසිදායකම තත්වය තිබෙන්නේ ජාතික ජන බලවේගයටයි. සම්ප්‍රදායික ධනපති දේශපාලන පක්ෂ කැඩිලා බිඳිලා තිබෙන්නේ. මොළ හතක් තිබෙනවා කීව බැසිල් රාජපක්ෂගේ පක්ෂය අම්බලමක් වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී ගිය සමගි ජන බලවේගයත් එකට නැහැ. රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුවට රිංගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. සර්වපාක්ෂික ලේබලයේ අටමගලට අපි එන්නේ නැහැ. අපි සූදානම් වෙන්නේ ආණ්ඩුවක් හදන්නයි. පොදු ජනයා සතුටින් තියන ජනතාවාදී පාලනයක් පිහිටුවන්නයි, අපි සූදානම් වෙන්නේ.  ඊනියා දේශප්‍රේමී නායකයෝ කැලේ. ජාතික ජන බලවේගය විතරයි දෙපයින් නැගී සිටින්නේ. ජනතාව දෙපයින් සිටුවිය හැක්කේ ජාතික ජන බලවේගයට විතරයි. ජනතාවට අභිමානය, ගෞරවය දෙන්න පුළුවන් එකම පක්ෂය ජාතික ජන බලවේගය විතරයි.

පසුගිය කාලයේ නිකුත් වුණු සමීක්ෂණ ප්‍රතිඵල දැක්කාම රනිල්ලා හොඳටෝම බයයි. මහින්ද රාජපක්ෂලා පසුගිය කාලයේ ඡන්ද සොය සොයා පැවැත්වූවා. ජනාධිපතිවරණයත් කලින් තිබ්බා. දැන් ඒ හැමෝම ඡන්දවලට බයයි. ජාතික ජන බලවේගයත්, එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයත් රට හදන්න පුළුවන් පක්ෂය සහ නායකයා ලෙස දැනටමත් ජනතාව පිළිගෙන ඉවරයි. දැන් තිබෙන්නේ ජනතාවගේ ඒ කැමැත්ත බලයක් බවට පත්කර ගන්න අවස්ථාවක් ලබා ගැනීමයි.

පරණ මඩ බලකායවල් දැන් නැවත වැඩ පටන්ගෙන තිබෙන්නේ. ඒ අවලාද පිළිගන්න මිනිස්සු මේ රටේ නැහැ. දැන් තිබෙන්නේ ජනතාවගේ යුගයක්. ඒ යුගයේ අවලාද ගහලා රැකෙන්න බලන්නේ නැතිව බැහැලා යන්න කියලා අපි අවධාරණය කරනවා. රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ ඔයාගේ පිං ජනාධිපතිකම අරගෙන පාර්ලිමේන්තුවත් එක්ක බැහැලා යන්න කියලයි. ජනතාව දැන් පෙළ ගැසෙන්නේ ආණ්ඩු එලවන්න විතරක් නොවෙයි. පරණ පාලනය නිමා කොට, අලුත් රටක්, නව සමාජයක්, නිර්මාණය කරන්නයි. ඒ වෙනුවෙන් සටන් පෙරමුණේ අත්වැල් බැඳගෙන සහෝදරත්වයෙන් අපි සටන් කරමු. ඒ සටන පීලි පන්නන්න ඉඩනොදී නිවැරදි ඉලක්කයට ගෙන යමු. මහා මැතිවරණයක් ඉක්මනින් දිනාගෙන අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට ඇත්ත ජනතාවාදී පාලනයක් නිර්මාණය කර ගනිමු. අලුත් රටක්, අලුත් බිමක්, අලුත් හෙටක් හදමු. ඒ වෙනුවෙන් සෑමදෙනාටම ධෛර්යයෙන් පෙරට එන ලෙස ආරාධනා කරනවා.

Leave a Reply

Your email address will not be published.