සංචාරක සමාගම හිමිකරු පැහැරගෙන මුදල් කොල්ල කෑ අයෙක් මාට්ටු

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංචාරක සමාගමක හිමිකරු සහ සහකාර ගණකාධිකාරීවරයා බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී පැහැරගෙන ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණනාවක මුදල් කොල්ලකෑ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක අයකු බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි

ඔවුන් දෙදෙනාගේ සන්තකයේ තිබූ කෙඩිට් කාඩ්පත් පැහැරගෙන රුපියල් ලක්ෂ 8 කට ආසන්න මුදලක් හා රිදී මාලයක් සැකකරුවන් විසින් කොල්ල කා තිබූ බව පොලිසිය කියයි

විදේශගතව සිට මෙරටට පැමිණෙන වෛද්‍යවරයකුට කටුනායක ගුවන් තොටුපොළේ සිට ප්‍රවාහන පහසුකම් ලබාදීමට සුඛෝපභෝගී මෝටර් රථයක් අවශ්‍ය බවට පවසමින් පැහැරගැනීමට ලක්වූ සංචාරක ආයතන හිමිකරු සහ සහකාර ගණකාධිකාරීවරයා ව ඉකුත් 17 වෙනි දින බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලට ගෙන්වා ගෙන තිබූ බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

එහිදී තීරෝද රථයකින් පැමිණ තිබූ කොල්ලකරුවන් තිදෙනා මෝටර් රථයට මඟ හරස් කර තමන් පොලිසියේ බව හඟවා ඔවුන් දෙදෙනාම මෝටර් රථයේ පිටුපස අසුනට දමා බණ්ඩාරගම පොලිසියට රැගෙන යන මුවාවෙන් වනාතමුල්ල නිවසකට රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි

එහිදී ඔවුන් දෙදෙනාට තර්ජනය කර මුදල් පසුම්බියවල තිබූ කෙඩිට් කාඩ් පත් රැගෙන ගොස් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ප්‍රථමයෙන් ලබාගැනීමෙන් අනතුරුව ඉතිරි මුදල සහකාර ගණකාධිකාරීවරයා  බොරැල්ලට රැගෙන ගොස් පෞද්ගලික බැංකුවකින් රුපියල් හාරලක්ෂ පනස් අට දහස් අටදහස් තුන්සියයක මුදලක් ලබාගෙන තිබූ බව පොලිසිය කියයි

එම කොල්ලකෑම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජේ එම් ආර් සමරසිංහ මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා පැමිණිලිකරුවන් ගේ මඟපෙන්වීම ඔස්සේ බොරැල්ල වනාතමුල්ල නිවසක් වෙත ගොස් එහි සිටි එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු එදින කොල්ලකා තිබූ රිදී මාලය ද පැළඳ සිටි බව පොලිසිය කියයි

Leave a Reply

Your email address will not be published.