හොරාකාපු සල්ලි නැවත අත්පත්කර ගැනීමට බලකිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්ද? – එරංග ගුණසේකර

අරගලයේ ජන බලය – නුගේගොඩ රැලියේදී අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර

මර්දනය විතරක් තමන්ගේ දේශපාලන උපක්‍රමය බවට පත්කර ගෙන සිටින රනිල් රාජපක්ෂට මතක් කර දෙන්න කරුණු කිහිපයක් තිබෙනවා. ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීල, ජන බලය ආපසු හරවන්න පුළුවන් කියලා හිතනවා නම්, නුගේගොඩ ජන බල රැලිය දිහා බලපල්ලා. 74 වසරක සාපය ඉවත් කරන රැලිය නුගේගොඩින් ආරම්භ වෙලා තියෙන්නේ. අරගලයේ ජන බලය නැවත තහවුරු කරන්න උත්සාහ කරන්නේ ගෝල්ෆේස් අරගල භූමියේ මාස හතකර අත්දැකීම් සහ අඩුපාඩුකම් පිළිබඳව අවබෝධයෙන් යුතුවයි. අප්‍රේල් මාසයේ තුන්වැනිදා ලංකාව පුරා සිටින අරගලයේ කෙල්ලෝ කොල්ලෝ නිර්මාණශීලීව ඉදිරියට ආවා. ඒ බොහෝ දෙනෙකුට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි වුණා. නමුත් සංවිධානාත්මක ව්‍යාපාරයක් හැටියට සෑමදාමත් ක්‍රියාකරන ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් 03වැනිදා උදේ 9.00ට අරගලය මහපාරට ගෙනත් පෙන්නුවා. ගෝටත් එක්ක හැප්පෙන්න සූදානම් බව අවධාරණය කළා. සවස් වෙද්දී මුළුමහත් ජනතාවම පාරට එන්න මඟපෙන්වීම කළා. සංවිධානාත්මක ව්‍යාපාර අවශ්‍ය වෙන්නේ ඒකට.

ගෝඨාභය රාජපක්ෂ දාන ඇඳිරිනීතිය වගේ කියලා අලුත් ප්‍රස්ථා පිරුළක් එකතු වුණේ ඒ සංවිධානාත්මක ක්‍රියාමාර්ග නිසයි. මැයි 09 වැනිදා සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පස්සේ සමහර අය ටිකක් ඉමු කියන සංවාදයකට ආවා. නමුත් ජාතික ජන බලවේගය රට පුරාම ජනතාව ඒකරාශී කරගෙන අරගලය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය බලය පෙන්නුවා. අවසානයේ ජූලි 09වැනිදා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන තැනට ජනතාව පෙළ ගැස්සුවා. අරගලකරුවෝ හැටියට අපි භූමිය අත්පත් කර ගැනීමේ උපක්‍රමය වෙනස් කර, නව බලයක් ගොඩනැගීම වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටිනවා. එය කළ හැක්කේ සංවිධානාත්මක, උපක්‍රමශීලී ජාතික ජන බලයට විතරයි කියලා නැවත වරක් ඔප්පුකර තිබෙනවා. අද මුල පුරන්නේ නව පන්නයේ ජාතික විමුක්ති අරගලයකට. එයට එකතුවී සිටින ඔබ සැම ඓතිහාසිකයි. මර්දනය ගැනම බලාපොරොත්තු තියන රනිල් රාජපක්ෂට කළ හැකිව තිබෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලි, චින්තක ඇතුළු සහෝදර සහෝදරියන් අත්අඩංගුවට ගැනීම පමණයි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවලින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමක් විතරයි. හොරාකාපු සල්ලි නැවත අත්පත්කර ගැනීමට බලකිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්ද කියලා අපි රනිල් රාජපක්ෂ කල්ලියෙන් අහනවා. එහෙම නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒ කුමන්ත්‍රණයේ හවුල්කරුවන් බව ප්‍රකාශ කරවා. ඒ සියලු ජනතාව එකතු කර, ගෝඨාට එහා ගිය පාඩමක් රනිල් රාජපක්ෂට උගන්වන්න අපි සූදානම් බව අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published.