සමරිසි අයිතීන් වෙනුවෙන් ගෙනා සංශෝධනය ජනපති අතට

ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබුවා.
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) (19 වන අධිකාරය වූ) සංශෝධනය කිරිම සඳහා වූ මෙම පනත් කෙටුම්පත ඊයේ (23) පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ,LGBTQ + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ, අතිශය පසුගාමී අදහසක් වන අතර මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට සහ අතවරයන්ට පත් වූ අවස්ථා බොහෝ වන බැවින් සහ ඇතැම් අවස්ථාවල දී ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පවා මෙම ප්‍රජාවගේ උල්ළංඝනය වූ අවස්ථා ද වාර්තා වන බවයි.
තව ද, ලිංගික දිශානතීන් සහ ලිංගික හැඳිනීම් මත පුද්ගලයන් දණ්ඩනයට ලක් කිරීම වික්ටෝරියානු යුගයේ යටත් විජිතවාදී නීති පද්ධතීන් මගින් ලොව පුරා ව්‍යාප්ත කරනු ලැබූවක් වන බවත්, නූතන මනෝ – වෛද්‍ය විද්‍යාව තුළ මෙය අපරාධයක් හෝ විකෘතියක් ලෙස නොසලකන අතර දියුණු රටවල් මෙම ප්‍රජාව දණ්ඩනයට ලක් කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට පනවා ඇති නීති රීති සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙන බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් කියා සිටින්නේ, උක්ත හේතු මේ සියල්ල සැලකිල්ලට ගෙන මෙම පුද්ගලික මන්ත්‍රී යෝජනාව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා විසින් යොමු කර තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published.