ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන හතරක වෛද්‍ය සැපයුම්

ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට අමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රීයේසස් (Tedros Adhanom Ghebreyesus) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පිළිගන්වමින් මේ පණිවිඩය යොමු කර ඇත.

ලංකාවට දෙන අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, බෙදා හැරීම් කෙරෙන දින සහ නාම ලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ප්‍රසිද්ධ කරනු ඇති බවද එම පණිවුඩයේ සඳහන් වේ. කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික පීඩනය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා බවත්, ගෝලීය ආහාර සහ තෙල් මිල ඉහළ යෑම, අවදානමට ලක්විය හැකි ප්‍රජාවට ප්‍රධාන අභියෝගයක් බවත්, එම අභියෝග කාලසීමාවේදී ශ්‍රී ලංකාවට පහසුකම් සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් බවත් ගෙබ්‍රීයේසස් මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනට‘ තමාට උපදෙස්දී ඇති බව සඳහන් කර ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සහ අනෙකුත් අමාත්‍යාංශවල සහයෝගයෙන් අදාළ වෛද්‍ය සැපයුම් බෙදා හැරීමට කටයුතු කරන බවත් දන්වා ඇත.‍

Leave a Reply

Your email address will not be published.