ගොවිජන බැංකුවල තැන්පතු කෝටි 600 පනී

ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකුවල ගොවිජනතාවගේ තැන්පතු මුදල් මේ වනවිට රුපියල් කෝටි 600 ඉක්මවා තිබේ.

ගොවිජන බැංකු නිලධාරීන් පිරිසක් සහ කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා අතර පැවති සාකච්ඡාවකදී ගොවිජන බැංකු නිලධාරීහු මේ මේ බව පැවසූහ.

ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යන ගොවිජන බැංකු මගින් ගොවි ජනතාවට දෙන සේවා පුළුල් කිරීමට හා එමඟින් කාර්යක්ෂම සේවාවක් ගොවි ජනතාවට දීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාව පැවැත්විණි.

දැනට රට පුරා පිහිටි 556ක් පමණ වන ගොවිජන මධ්‍යස්ථාන ආශ්‍රිතව ගොවිජන බැංකු 556ක් තිබෙන අතර, එහි සමස්ථ සාමාජිකත්වය ලක්ෂ 13ක් පමණ වේ.

මේ බැංකු මගින් ගොවි ව්‍යවසායකත්වය ඇති කිරීමට මෙන්ම ගොවි ජනතාවට අවශ්‍ය ණය පහසුකම් සැලසීමද කරනු ලබයි. මෙහිදී එම නිලධාරීන් හමුවේ අදහස් පළ කළ ඇමැතිවරයා පැවසුවේ සියලු ගොවිජන මධ්‍යස්ථාන ආශ්‍රිතව ගොවිජන බැංකු පිහිටුවීම සඳහා කටයුතු කළ යුතු බවයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මේ බැංකු විධිමත් ලෙස අධීක්ෂණය කිරීම සහ ගොවි ජනතාවට දෙන සේවා පුළුල් කිරීමට වැඩපිළිවෙළක් සකසන ලෙසද ඇමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published.