ලංකාවට චීන සහාය අඛණ්ඩව

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරයේ දී සැමවිටම චීනයේ සහාය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong ප්‍රකාශ කරනවා. ඔහු කියන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම චීනය කිසිවිටෙකත් නොඉවසන බවයි.

“අපි අපේ එම සහාය දිගටම දෙනවා. නමුත් සමහර රටවල් – ළඟ පිහිටි හෝ දුරින් ඇති – විවිධ පදනම් විරහිත හේතු දක්වමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය පාගා දමමින් ඔවුන්ව අපහසුතාවයට පත් කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ආර්ථික හා මානුෂික අපහසුතා වලට මුහුණදෙමින් ඉන්නේ. සැමවිටම මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් බණ කියන රටවල් ඇත්ත වශයෙන්ම කුමක් කරයිද කියලා දන්නේ නෑ” යි ඔහු සඳහන් කරනවා.

“ශ්‍රී ලංකාව මෙන්ම චීනය ද 1840 සිට 1949 දක්වා වසර සියයක අවමානයට ලක්ව ඇත. එවැනිම අඳුරු අත්දැකීම නිසා චීනය සෑම විටම ශ්‍රී ලංකාවට සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවල සහාය දක්වනවා. අපි ඒක දිගටම කරගෙන යනවා. ඊට ප්‍රතිවිරුද්ධව, සමහර රටවල්, දුර හෝ ආසන්න, සෑම විටම ශ්‍රී ලංකාවට හිරිහැර කිරීමට විවිධ පදනම් විරහිත නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය නැවත නැවතත් පාගා දමනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ලබන මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න යළිත් ඇවිස්සීමට ඉඩ තිබෙනවා. ශ්‍රී ලාංකීය ජනතාව තවමත් දැඩි ආර්ථික හා මානුෂීය දුෂ්කරතා සමඟ පොරබදමින් සිටින බැවින්, මානව හිමිකම් ගැන නිතරම දේශනා කරන එම රටවල් ඇත්ත වශයෙන්ම කුමක් කරනු ඇත්දැයි බොහෝ දෙනා කල්පනා කළ හැකියි. ස්ථිර සහයෝගයක් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අර්බුදය සමනය කිරීමට ඔවුන් උදව් කරයිද, නොඑසේනම් ඔවුන් නැවතත් මානව හිමිකම් වසන් කිරීමේ මෙවලමක් ලෙස යොදා ගනිමින් දිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසා ශ්‍රී ලාංකීය ජනතාවගේ තුවාලයට ලුණු තවරනවාදයි අපි බලාගෙන සිටිමු” යි චීන තානාපති Qi Zhenhong පවසනවා.

Leave a Reply

Your email address will not be published.