මම වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වැඩකරන කෙනෙක් – ඇමති ප්‍රසන්න

  • සේවකයන් පීඩාවට පත්කරන ඇතැම් අණ පනත් කාලානුරූපව වෙනස් විය යුතුයි..
  • අයිතිවාසිකම් දිනාගන්න, හැබැයි ආයතනයත් රැක ගන්න…
  • වැඩකරන්න සඳළුතලෙන් බිමට බහින්න…

සේවකයන් පීඩාවට පත්කරන ඇතැම් අණ පනත් කාලානුරූපව වෙනස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිකුරාදා (26) පැවසීය.

එසේ නොමැති වුවහොත් තෘප්තිමත් රාජ්‍ය සේවයක් බළාපොරොත්තු විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් හා නිළධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිකුරාදා (26) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මම වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වැඩකරන කෙනෙක්. පළාත් සභාවේ ඉන්න කාලේ ඉදලම කිසිම දවසක වෘත්තීය සමිති සමඟ ගැටුම් ඇති කරගත්තේ නැහැ. විරුද්ධ පාක්ෂිකයන්ගෙන් පළිගන්නේ නැහැ. මම හැමදාම හිටියේ වැඩකරන මිනිහගෙ පැත්තෙයි.

මේ රාජ්‍ය ආයතන බොහෝමයක් අද පාඩු ලබන තත්ත්වයට පත්වෙලා. ඒක නිසා ඇතැම් රාජ්‍ය ආයතන වැසෙන තත්ත්වයටම පත්වෙලා. මේ ආයතන වැසිල ගියොත් විශාල පිරිසකට රැකියා අහිමිවෙනවා. ඒක නිසා අපි හැම තිස්සෙම බලන්න ඕන ආයතනය ආරක්ෂාකර ගනිමින් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න. ඒ වගේම මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නෙ නැතිව තමන්ම ආදායම් උපද්දවා ගන්නා ආකාරය ගැනත් අපි හිතන්න ඕන. මේ වනවිට රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීල ඉන්නෙ. අපිට ඩොලර් හිඟයක් තියෙනවා. ඒ නිසා තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්න අපිට බැහැ.

ඉකුත් යහපාලන ආණ්ඩුව විශාල වශයෙන් ණය අරගෙන තිබුණා. ඒ ණය ගෙවන්න උනේ අපිට. එ වගේම කොරෝන අර්බුදයත් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් කළා. මේ ආර්ථික අර්බුදය මෙච්චර දරුණු වෙන්න එක හේතුවක් ඒක. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අර්බුද දුර තියාම දුටුවා. ඒ නිසා තමයි භාණ්ඩ ආනයනය සීම කළේ. නමුත් අනුන්ගෙ පව්වලට කරගහන්න වීම නිසා එතුමට තනතුර දාල යන්න වුණා. ගෝඨා ගෝ හෝම් කියපු අයම දැන් රනිල් ගෝ හෝම් කියනවා. එන එන ජනාධිපති එළවන්න ගියොත් කවුද රට පාලනය කරන්නෙ. අරගලකරුවන්ට ඕන විදියට රට පාලනය කරන්න බැහැ. එදා යුද්ධයෙන් ලබාගන්න බැරිවුණ දේවල් අද වෙන වෙන විදියට ලබාගන්න සමහරු උත්සාහ ගන්නවා. ඇතැම් ආගමික නායකයො මෙන්ම කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට බලය ගන්න බැරි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂත් මේ පිටුපස්සෙ ඉන්නවා.

කොහොම හරි ඉවසගෙන මේ ගමන ගියොත් තවත් අවුරුදු එකහමාරකින් විදුලි අර්බුදය, ගෑස් හා ඉන්ධන අර්බුදය විසදන්න පුළුවන්. තමන්ගෙ වෘත්තීය අයිතිවාසිකම් මත්තෙම නැහෙන්න කලින් රට මුහුණදී තිබෙන තත්ත්වය අපි තේරුම් ගන්න ඕන. එහෙම නොවුනොත් අපිට පැවැත්මක් නැහැ.

මම හරි විවෘත කෙනෙක්.දේශපාලනය මොකක් වුනත් මට මගේ අමාත්‍යංශයේ සියළුම සේවකයන් වටිනවා. ඒ නිසා ඕනම සේවකයෙක්ට ඕනම මොහොතක මාව හමුවෙලා කතා කරන්න පුළුවන්. මම හැංගිලා තීන්දු ගන්න කෙනෙක් නොවයි. ඇතැම් තීන්දු තීරණ ගැන මම අමාත්‍යංශයේ සුළු සේවකයන්ගෙන් පවා ඒ ගැන විමසනවා. සඳළු තලෙන් බිමට බැස්සම මිනිස්සුන්ව තේරුම් අරන් වැඩකරන්න පහසු යැයිද සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති සො‍හාන් විජේසේකර, අධ්‍යක්ෂ ජනරාල් ආර්. රාමලිංගම් මහත්වරුන් සහ ප්‍රගතිශීලී පොදුජන වෘත්තීය සමිතිය, ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.