රට බංකොලොත් කළ අය සොයන්න ජනපති තේරීම් කාරක සභාවක් 

රට බංකොලොත් බවට පත් කළ අය සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ඊළඟ කමිටු පත් කිරීමෙන් පසු මේ තේරීම් කාරක සභාව පත් කරන බවත් ඒ මහතා කීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලින්ම හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බවත් ඒ මහතා කීය.

රට බංකොලොත් යැයි සීල් තැබීමට කිසිවකුට නොහැකි බව අවධාරණය කළ ඒ මහතා එය කාගේ හෝ වුවමනාවක් මත සිදු වූවාද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148,149, 150 සහ 151 වැනි ව්‍යවස්ථා ක්‍රියාත්මක කර ඇත්ද එසේ කර නැති නම් එසේ නොකළ අය පිළිබඳ සොයා බලා ජනතාවට හෙළි කිරීම පාර්ලිමේන්තුවේ වගකීම බවත් අබේවර්ධන මහතා සඳහන් කළේය. ඔවුන් වෙන රටක න්‍යාය පත්‍රයකට වැඩ කළේද, රටේ සිටි පොහොසත් ව්‍යාපාරිකයන් අපොහොසත් අය බවට පත් කළේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බවත් කීය. රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට පෙර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 151 ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට තිබුණු බවත් එසේ නොකිරීම බලවත් ඛේදවාචකයක් බවත් අබේවර්ධන මහතා කීය.

ජනතාව බලාපොරොත්තු වන සිස්ටම් චේන්ජ් එක කිරීමට හැකි නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ලෝකයේ සිටින බලසම්පන්න නායකයෙක් වන ඒ මහතා ශ්‍රී ලංකාව පාලනය කිරීම දරා ගත නොහැකි අය ජාත්‍යන්තරයේ සිටිය හැකි බැවින් වැටුණු රට ඔසවා තැබිය හැකි එම නායකයා ආරක්ෂා කර ගත යුතු බවත් අබේවර්ධන මහතා කීය.

Leave a Reply

Your email address will not be published.