මර්දනයට එරෙහිව – ජිනීවා විරෝධතාව

හදිසි නිතිය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් ඊයේ (28) පෙරවරුවේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුනා. රනිල් – රාජපක්ෂ සදාචාර විරෝධී, ජනවරම අහිමි ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා නව මැතිවරණයක් පවත්වන්නැයි බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.

විදුලි කප්පාදුව, ඉන්ධන, ගෑස් සහ ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ පා සිටින අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනාතවගෙන් පැනනගින මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම්, අදහස් ප්‍රකාශ කිරීමේ හා පළ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසත් මහජනයා හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය වාරණය පැනවීම, සාමකාමී විය යුතු නිදහස් රැස්වීමේ අයිතිය සහ විසම්මුතිය ඇතුළු සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ට තමන් දැඩි ලෙස බලකරන බව උද්ඝෝෂකයන් පවසා සිටියා.

උද්ඝෝෂණය අවසානයේ අදහස් දැක්වූ එහි සංවිධායකවරයෙකු පැවසුවේ යුරෝපය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් එක්ව පැවැත්වූ මෙම උද්ඝෝෂණය සාර්ථක වූ බවයි.

“මේ උද්ඝෝෂණය ඉතාමත් සාර්ථකයි. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලුම ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන් මේ උද්ඝෝෂණයට එක්වුණා. බොහෝ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන අය එඅතනට ආවා. අපි ශ්‍රී ලාංකිකයන් විදිහට මේ ආණ්ඩුවට කියන්නේ දැන් ඔය ඇති කියලයි. තව දුරටත් මේ ආණ්ඩුවට මේ මර්දනයන් කරන්න දෙන්න බහ. මේ මර්දනයන් අනීතිකයි. ආණ්ඩුවත් අනීතිකයි. සදාචාරවත් බලයක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා ආණ්ඩුව ඉවත් වෙලා නව පාලනයක් පිහිටුවාගන්න රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ සඳහා ඉක්මනින්ම මැතිවරණයක් පවත්වන්නැයි අපි ආණ්ඩුවට කියනවා” යි ඔහු පවසනවා.

Leave a Reply

Your email address will not be published.