යුපුන් සාජන් මේජර් ධුරයට

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 100 අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනාගත් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් යුද හමුදාවේ සාජන් මේජර් (බලලත් නිලධාරී II) ධුරයට උසස් කරයි. යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා දුන් උපදෙස් අනුව යුපුන්ට මේ උසස්වීම ලැබී ඇත. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ මාණ්ඩලික සැරයන් ලෙස මෙතෙක් කටයුතු කළ යුපුන් අබේකෝන් මීළඟ නිලයට වහාම ක්‍රියාත්මකවන පරිදි උසස් කරන ලෙස යුද හමුදාධිපතිවරයාගේ උපදේශයේ සඳහන්ව තිබේ.

බර්මින්හැම් ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ පැවති මීටර් 100 අවසන් තරගයේ ලෝකඩ පදක්කම තත්පර 10.14කින් දිනාගත් යුපුන් එදා මෙදා තුර වසර 92ක පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් විය. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක දී වසර 24කට පසු ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා පදක්කමක් දිනාදීමට යුපුන් අබේකෝන් සමත් වීම ද විශේෂත්වයකි.

පො දුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් එච්.ජී. පාලිත බණ්ඩාරට සහ කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් කෝප්‍රල් වයි.ඩී.අයි කුමාරට යුද හමුදාධිපතිවරයා අතින් මූල්‍යමය දිරිගැන්වීම් ප්‍රදානයන් ද සිදු කළේය.

යුද හමුදාධිපති කාර්යාලයේ ඉකුත්දා පැවති මේ හමුව සඳහා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක සහ යුද සේවා සහකාර කර්නල් ශ්‍රී රාජපක්‍ෂ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එක්ව සිටියහ.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ වෙනුවෙන් ක්‍රීඩා කිහිපයක් නියෝජනය කරමින් යුද්ධ හමුදා ක්‍රීඩකයන් 37ක් සහභාගී වී සිටීම කැපී පෙනිණි.

Leave a Reply

Your email address will not be published.