සඳමත ගමන අත්හිටුවයි

අමෙරිකාවේ නාසා ආයතනයේ එතෙක් මෙතෙක් විශාලතම රොකට්ටුව සඳ වෙත යැවීමේ ඓතිහාසික අවස්ථාව ඊයේ සටහන් වීමට නියමිතව තිබුණද, අවසන් මොහොතේ අත්හිටුවීමට තීරණය කෙරිණි. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් 6.03ට රොකට්ටුව දියත් කිරීමට නියමිතව තිබූ මේ රොකට්ටුවේ ගමන හයිඩ්‍රජන් කාන්දුවක් හේතුවෙන් ප්‍රමාද කිරීමට සිදුවී තිබේ. නාසා ආයතනය වසර 50කට පසු මෙතෙක් නිපදවනු ලැබූ බලවත්ම රොකට්ටුවේ ගමන මංගල පරීක්ෂණය සිදු කළ මොහොත සියැසින් දැක බලා ගැනීමට අමුත්තන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් එක් වී සිටි අතර, අමෙරිකාවේ කමලා හැරිස් ද ඊට ඇතුළත්ව සිටියාය. මේ ඓතිහාසික මොහොත දැකබලා ගැනීම සඳහා අමෙරිකාවේ විවිධ ප්‍රාන්තවලින් පැමිණි අමුත්තන්ගෙන් කැනවරල් තුඩුව අවට හෝටල් පිරී ඉතිරෙන්නට වූයේ සතියකට පමණ පෙර සිටය.

වසර 1972 ඇපලෝ 17 රොකට්ටුව සඳට යැවීමේ මෙහෙයුමෙන් පසු පළමුවරට නාසා ආයතනය විසින් දියත් කිරීමට නියමිත එම සඳ ගමන නම් කර තිබුණේ ආර්ටිමිස් 1 මෙහෙයුම ලෙසිනි. ගගනගාමීන් කිසිවකු එක් නොවූවද ආර්ටිමිස් 1 මෙහෙයුම යටතේ සඳ වෙත යාමට නියමිත අඩි 322ක් දිගැති මේ රොකට්ටුව නැවත පෘථිවියට පැමිණීමට නියමිතව තිබුණේ සති 6කට පසුවය. සඳ වෙත යෑමට සතියක් ගත වන බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඊයේ රොකට්ටුව දියත් කිරීමට පැය කිහිපයකට පෙර කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කුලුනුවලට විශාල අකුණු පහර කිහිපයක් වැදී ඇති නමුත් රොකට්ටුවට හෝ කැප්සියුලයට ඉන් හානියක් සිදු නොවූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.