ශ්‍රී ලංකාවට සම්පූර්ණ සහාය දෙනවා – බ්‍රිතාන්‍ය අගමැතිගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික හා සමාජීය අභියෝගවලදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ජනතාව සමග අඛණ්ඩව කටයුතු කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සුබ පැතුම් පණිවුඩයක් එවමින් පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතුවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මන් සහ ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වසය පළකර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා තම ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සම්බන්ධවීමට එක්සත් රාජධානිය සූදානම්ව සිටින බවත් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සහ සැලකියයුතු ප්‍රගතියක් අත්කර ගැනීමට වර්තමානයේ හැකිවනු ඇතැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇත.

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන 51 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල ප්‍රවේශයේ වෙනසක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාවක් ලැබෙනු ඇති බවත් සඳහන් කර ඇත.  

මේ අතර මෑතකදී බ්‍රිතාන්‍ය ප්‍රකාශයට පත්කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය පිළිබඳ සඳහන් කරමින් ඔහු පවසන්නේ එමගින් එක්සත් රාජධානියට අපනයනය කරන සමස්ත භාණ්ඩවලින් අතිමහත් බහුතරයක් සඳහා තීරුබදු රහිත ප්‍රවේශයෙන් ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බවය.

දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කරගනිමින් ඉදිරියට යන විට, වෙළෙඳාම සහ ආයෝජන වැඩිදියුණු කිරීමට තවත් අවස්ථා සොයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, දේශගුණික විපර්යාස පිළිබඳ හවුල් අභිලාෂයන් පිළිබඳ නායකයින් දෙදෙනා මැයි මාසයේදී කළ සංවාදය සිහිපත් කරමින් හරිත මූල්‍ය සහ පුනර්ජනනීය බලශක්තිය සමග එක්සත් රාජධානියේ සහාය සඳහා ශක්තිමත් අවස්ථා ඇති බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.