පොලීසිය ට ජනපති ගෙන් උපදෙසක්

පොලිස් දෙපාර්තමේන්තුව සහ ස්වාධීන අධිකරණයක් නොමැති නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ ආධිපත්‍යයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවීමට නම් මූලික නීතිය වන ව්‍යවස්ථාව ආරක්ෂා වියයුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේ‍ය.

156 වන පොලිස් දින සැමරුම අද (03) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

“පොලීසිය මේ රාජ්‍ය යන්ත්‍රණයේ වැදගත් ආයතනයක්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක. පොලීසිය නැත්නම් නීතියේ ආධිපත්‍යක් නෑ. ඒ වගේම ස්වාධීන අධිකරණයක් නැති නම් නීතියේ ආධිපත්‍යක් නෑ. මේ දෙක තමයි විශේෂයෙන්ම ආරක්ෂා කරන්න අපි කැප වෙලා තියෙන්නේ. මේ නීතිවලින් වැදගත්ම නීතිය තමා රටේ මූලික නීතිය.. ව්‍යවස්ථාව. අපි මතක තියාගන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් ව්‍යවසථාව ආරක්ෂා වෙන්න ඕනේ.”

පොලිස් දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීත්, හින්දු ආගමික වතාවත් බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදීත් අද පෙරවරුවේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඊට අමතරව 156 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ පොලිස් ස්ථාන මුල්කර ගනිමින් විවිධ වැඩසටහන් පැවති අතර ඇතැම් ප්‍රදේශවල ලේ දන් දීමේ ව්‍යාපාර ද ක්‍රියාත්මක කෙරුණි.

Leave a Reply

Your email address will not be published.