අපි තවදුරටත් නායකයෝ බිහිකරන්නේ නෑ -ගම්මන්පිල

තවදුරටත් පුද්ගල කේන්ද්‍ර දේශපාලනයක් ඉදිරියට සිදුනොවන බව පිවිතුරු හෙළ උරුමයේ, නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් පිහිටුවන නව දේශපාලන සන්ධානය අද එළිදැක්වීමට නියමිත අතර එහි සභාපතිත්වයට ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මහතා පත්වීමට නියමිත බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, යුතුකම ජාතික සංවිධානය හා විජය ධරණී ජාතික සභාව යන පක්ෂ හා සංවිධාන 07න් නව සන්ධානය සමන්විතය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“විපක්ෂයේ සිට ආණ්ඩුව විවේචනය කිරීම හරහා බලය ලබාගැනීම වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයලා, ඒ උත්තර ආණ්ඩුවට කරන්න කියලා බල කරලා ආණ්ඩුව කරන්නේ නැතිනම් ජනතාවත් එක්ක එකතුවෙලා අපි කරන අලුත් විපක්ෂයේ දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දීමේ නැවුම් සන්ධානයක් අපි දියත් කරනවා. අපේ නායකත්ව මණ්ඩලයක් ඉන්නේ. එකේ සභාපති ධුරයට විමල් වීරවංශ මහතා පත් කිරීමට නියමිතයි. ඇත්තටමත් අපි තවදුරටත් නායකයෝ බිහි කරන්නේ නෑ. මෙතෙක් කල් අපේ දේශපාලනය වුණේ පුද්ගල කේන්ද්‍රීයව. කට්ටියක් යහපාලනය උදාකරන්න කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙනාවා. අපි සෞභාග්‍ය උදාකරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනාවා. තවදුරටත් අපි පුද්ගලයෝ පස්සේ යන්නේ නෑ. පුද්ගල කේන්ද්‍ර දේශපාලනය කරන්නේත් නෑ. බුදුහමුදුරුවෝ දේශනා කරනවානේ මගෙන් පස්සේ නායකත්වයට පත් වන්නේ ධර්මයයි කියලා. අන්න ඒ වගේ වැඩ පිළිවෙලකට නායකත්වය දීලා තමයි අපි ඉදිරියට දේශපාලනය කරන්නේ. ඒ නිසා කවුරුන් කා හට එකතු වෙනවාද කියන ප්‍රශ්නය මින් මතුවට ශ්‍රී ලංකා දෙශපාලනයේ මතු වෙන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published.