සුපිරි හතරේ තීරණාත්මක තරගය අදයි

සුපිරි හතර වටයෙන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂා ඇතිව ශ්‍රී ලංකාව අද පස්වරු 7.30ට ඩුබායි ජාත්‍යන්තර පිටියේදී ඉන්දියාවට එරෙහි සටනට පිවිසෙයි. මේ තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළහොත් 11වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අනිවාර්යයෙන් උදාවනු ඇත. එසේ වුවහොත් පාකිස්තානය හමුවේ සුපිරි හතර වටයේ පරාජය වී සිටින ඉන්දීය ක්‍රීඩකයන් ගමන් මලු අසුරාගෙන නිවෙස් බලා යෑමට සූදානම් විය යුතුය.

එබැවින් මේ තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ උපරිම දක්ෂතා දැකගත හැකි වන අතර, උණුසුම් තරගයක ආශ්වාදය වින්දනය කරගත හැකි වේ. ඉන්දියාව සුපිරි හතර වටයේ මුහුණ දුන් පළමු තරගයේදී පාකිස්තානය හමුවේ පරාජයට පත්වූ බැවින් යම් පසුබැසීමකට ලක්ව සිටීමද කැපී පෙනේ. සුපිරි හතර වටයේ මෙතෙක් නිමාවූ තරග ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව දළ ලකුණු ලබා ගැනීමේ වේගය + 0.589ක් ලබා ඉදිරියෙන්ම සිටින අතර, පාකිස්තානය + 0.126ක්, ඉන්දියාව – 0. 126ක් හා ඇෆ්ගනිස්තානය – 0.589ක් වේ.

පසුගිය තරග කිහිපයේදීම දැක ඇති පරිදි ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ තණතිල්ල පන්දුවට පහරදීමට කදිම පාරාදීසයකි. ඕනෑම කණ්ඩායමකට ලකුණු 170 – 180ක් පහසුවෙන් ලබාගත හැකි පරිදි තණතිල්ල සකස් වී තිබේ. සෙල්සියස් අංශක 40කට ආසන්න උෂ්ණත්වයක් පවතින බැවින් ක්‍රීඩකයන්ට විශාල වෙහෙසකර බවක් දක්නට ලැබීම දක්ෂතා අතරට පැමිණීමේ සුළු බාධකයක් වී තිබේ.

කෙසේ වුවද ශ්‍රී ලංකා විස්සයි 20 නායක දසුන් ශානක මේ තීරණාත්මක තරගයේදී කාසියේ වාසිය ලබා ගැනීම කෙරෙහි විශ්වාසයකින් පසුවේ. ශ්‍රී ලංකා පිල ලකුණු හඹාගොස් ජය ගැනීමට තරම් ශක්තිමත් කණ්ඩායමක් බැවින් කාසියේ වාසිය දිනා ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීම පසුගිය තරග කිහිපයේම වාසිදායක තත්ත්වයක් ගෙන දුන්නේය.

“ අප විශ්වාස කරන්නේ මේ වගේ තණතිලිවලදී අපට ඕනෑම කණ්ඩායමකට එරෙහිව හඹා යා හැකි බවයි. තරගයක හඹා යාමේදී අපට හැම විටම කඩුල්ල හොඳින් විශ්ලේෂණය කර ඉදිරියට යන්න පුළුවන්. පසුගිය තරග දෙකේදීම අප ඒ දේ මැනවින් කළා ” දසුන් ශානක පැවසීය.

“මේ තරගයට අපි විශේෂ සැලසුමක් ඇතිව එනවා. අපි දන්නවා ඉන්දීය පිලට හොඳ පිතිකරුවන් සිටින බව. නමුත් අපේ ක්‍රීඩකයන් සැලසුම් හොඳින් ක්‍රියාත්මක කළ හැකි පිරිසක්. තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රධානතම සාධකය වන්නේ පිතිකරුවන් අතර ඇතිවන සම්බන්ධතායි. අපි ඒ ගැන කතා කළා. දැන් අපි දන්නවා තරගවලට පිවිසෙන්නේ කෙසේද සහ තරග ජය ගන්නේ කෙසේද කියා. ඒ නිසා ඉන්දියාව පරද්දන්න මූලික සැලසුම් සකස් කොට අවසන්. පිටියේදී ඒවා හොඳින් ක්‍රිකයාත්මක කළ යුතුයි ” ශානක වැඩිදුරටත් පැවසීය.

මේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජයගෙන තරගයක් පරාජයට පත්විය. ජයගත් තරග දෙකේම කාසියේ වාසිය දසුන් ශානකට හිමිවූ අතර, ඔහු දෙවනුව පන්දුවට පහරදීමට තීරණය කළේය. පරාජය වූ තරගයේදී කාසියේ වාසිය ප්‍රතිවාදීන්ට අතට පත්ව ශ්‍රී ලංකාවට මුලින් පන්දුවට පහරදීමට සිදුවිය.

මෙවර ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා තරග 8ක් නිමාවට පත්වී ඇති අතර, එයින් තරග 6කම ජය හිමිවී ඇත්තේ දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායමට වේ. හොංකොං පිල පමණක් දෙවනුව පන්දුවට පහරදී තරග දෙකක් පරාජයට පත්විය.

ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරග 19කදී හමුවී ඇති අතර, එයින් තරග 10ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, තරග 9කදී ඉන්දියාව ජය තහවුරුකොට තිබේ.

Leave a Reply

Your email address will not be published.