හක්කපටස් බෝම්බයකට අලිපැටවෙකු ගොදුරු වෙයි…

වව්නියාව මුන්රිමුරිප්පු සින්න වලයන්කට්ටු කුලම් ප්‍රදේශයේදී හක්කපටස් බෝම්බයකට වනඅලි පැටවෙකු ගොදුරුවීමෙන් මියගොස් සිටියදී සිරුර සොයාගත් බවට වව්නියාව වනජීවි කාර්යාලය පවසයි.

මීට දින කිහිපයකට පෙර අදාල අලි පැටවා හක්කපටස් බෝම්බයකට ගොදුරුවී ඇති අතර පසුව සින්නවලයාන්කට්ටු වැවට පැමිණ වැටී සිටිනු ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව වව්නියාව වනජීවි කාර්යාලයට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක් විසින් අද (05) දින හක්කපටස් බෝම්බයට ගොදුරු වී සිටි අලිපැටවා සිටි ස්ථානයට ගොස් පරික්ෂා කොට අවසන් කටයුතු සිදුකිරීමට ප්‍රදේශයේ ග්‍රාමසේවක නිලධාරි වරයාට දැනුම් දෙනු ලැබීය.

මිය ගොස් සිටි වන අලි පැටවා උසින් අඩි 06 ක් පමණ වන අවුරුදු 08 ක් පමණ වයසින් යුතු වන බවටද වනඅලි පැටවා මීට සතියකට පමණ පෙරදී හක්ක පටස් බෝම්බයට ගොදුරු වී බරපතල තුවාල ලැබීම නිසා ආහාර ගැනීමට නොහැකිවීමෙන් මරණය සිදුව ඇතැයි වනජීවි නිලධාරීන් පැවසීය.

හක්කපටස් බෝම්බය තැබූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර ඒ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන බවටද වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.