ලොවට ණය නැති රටක් 2048දී බිහි කිරීමට පක්ෂ භේද දුරලා එක් වෙමු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප 76 සංවත්සරය අමතමින් කියයි

– රට ශක්තිමත් කරන්න අලුත් නීති හඳුන්වා දීම මර්දනයක් ද හිඟාකෑම නවතා‍ පොහොසත් වෙමු
– වෙනසක් ඉල්ලන සාමකාමී අරගලකරුවන්ගේ බලාපොරොත්තු බිඳවැටෙන්න දෙන්නේ නෑ

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (06) පැවැත්විණි.

පක්ෂය කුමක් වුවත් එක මවකගේ දරුවන් ලෙස එකමුතුව වසර 2048 වන විට ලොවට ණය නැති ධනවත් බලවත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට කටයුතු කරමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහි අවසානය දකින්න තමා නොසිටියත් රටේ තරුණ තරුණියන්ට හොඳට ජිවත් විය හැකි අනාගතයක් බිහිකරදීම සිය අරමුණ බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

තවදුරටත් හිඟාකෑමට නොහැකි හෙයින් රටේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන රට ගොඩනඟන අරගලය ලබන වසරේ සිට අරඹමු යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ 76 වැනි සම්මේලනයට ඊයේ (06) සහභාගි වෙමිනි.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී 76 වැනි පක්ෂ සංවත්සරය පැවැත්විණි. රට ගොඩ ගැනීමට සියලු දෙනා එක් කර ගැනීමේ අරමුණෙන් “එක්ව රට ගොඩනඟමු” යන තේමාව යටතේ පැවති එජාප සංවත්සරයට අති විශාල පිරිසක් එක් වූහ.

රට ගොඩනැඟීම සඳහා සියලු දෙනා එක්වීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලු පක්ෂ නායකයන්ට පක්ෂ සංවත්සරයට සහභාගී‍වන ලෙස විවෘත ආරාධනයක් කර තිබූ අතර, ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ සෙසු පක්ෂ නායකයෝ රැසක් සංවත්සර උලෙළට සහභාගී වූහ.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණි සියලු ජාතීන්ට අයත් ජනතාවගෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු රහිතව පිරී ගොස් තිබිණ.

පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් ආරම්භ කෙරුණු අතර, පක්ෂයේ ආදීකර්තෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සිට ආදී නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවය පළ කිරීම ද සිදු විය.

හිටපු මුදල් අමාත්‍ය රොනි ද මෙල් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සංවත්සරය වෙනුවෙන් සිය ශුභාශිංසන එක් කළහ.

එහිදී සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය:

පක්ෂ සංවත්සරය සඳහා මෙහි පැමිණි ඔබ සැමට ස්තුතිය පුද කරනවා.අමාරු කාලයේදී ඔබ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂය කෙරෙහි හිතැතිව වැඩ කටයුතු කළා. අද අප අපේ පක්ෂය හැදු නායකයන් සිහි කරනවා. ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග නායකයන් විසින් මේ පක්ෂය මෙන්ම රටත් හැදුවා. ඒ අයගෙන් ඉගෙන ගෙන මා මේ දක්වා පැමිණ සිටිනවා.

මා අද කතා කරන්නේ මේ පක්ෂයෙන්ම බිහි වූ හතරවන ජනාධිපතිවරයා ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පෙර සිටි ජනාධිපතිවරුන්ට වඩා වෙනස් තත්ත්වයක් මට තිබෙන්නේ. මට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හෝ ආණ්ඩුවක් නැහැ. අප සියලු දෙනාම එකතු වී මේ ආණ්ඩුව ගෙනයනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම තවත් පක්ෂ ගණනාවක සහාය සමඟ ආණ්ඩුව ගෙන යනවා. අද අප විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඉතිහාසයේ කිසි දිනක මෙවැනි අර්බුදයක් තිබුණා කියා මා හිතන්නේ නැහැ, ආර්ථිකය කඩා වැටිලා. මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. අනෙක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් ලෙස තනතුරු දෙන්න මට හැකියාවක් නැහැ, ජනතාව පීඩනයෙන් සිටිනවා. සමහර අයට තුන් වේලක් කන්න බැරි තත්ත්වයක් තිබෙනවා. විරැකියාව වැඩි වී තිබෙනවා.

අපේ දහඩියෙන්, මහන්සියෙන් සියලුම දෙනා එක්ව යළිත් මේ රට ගොඩ ගන්නා බවට බය නැතිව ප්‍රකාශ කරනවා.

ගිය අවුරුද්දේ අපේ සංවත්සරය පැවැත් වූයේ සූම් තාක්ෂණය ඔස්සේ. මෙරට තරුණ තරුණියන් වත්මන් දේශපාලනය පිළිකුල් කරන බව මා එදා පැවසුවා. ආණ්ඩුව රට රවට්ටන බවත් කිවුවා. විපක්ෂය විවේචනයට සීමා වී තිබෙන බවත් පැවසුවා. ප්‍රතිපත්ති දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. එමෙන්ම නවීන දේශපාලනයක් බලාපොරොත්තු වෙනවා. කිසිවකු එය අනුගමනය කළේ නැහැ. අවසානයේ පීඩනය වැඩි වී මෙරට තරුණ තරුණියන් අප්‍රේල් මාසයේ අරගලය ආරම්භ කළා. එය සාමකාමී අරගලයක්. ඔවුන් ඉල්ලීම් ඉදිරිපත් කළා. අප ඒවාට එකඟ වුණත් නැතත් අගය කළා. ප්‍රථම වරට තරුණ තරුණියන් තුවක්කු බෝම්බ ගන්නෙ නැතිව රටේ වෙනසක් අවශ්‍ය බව ප්‍රකාශ කළා. නමුත් එවැනි ව්‍යාපාර හොඳ හිතින් ගෙන යාම අසීරුයි. ඒක ඇතුළේ ප්‍රචණ්ඩත්වය මුල්කර ගෙන පෙරටුගාමී සංවිධානය ඉදිරියට පැමිණියා. පසුව සාමකාමී තරුණයන් එයින් පිට වුණා. ජුනි 9 සහ 13 අතර රටේ පාලනය නතරකර පාර්ලිමේන්තුව අල්ලාගන්න කටයුතු කළත් එය අසාර්ථක වූ විට අරගලයත් නැති වුණා. අරගලය නැති වුණාට තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු නැති වී නැහැ. මේ බලාපොරොත්තුව ඉදිරියට ගෙන යනවා.

. පක්ෂ නායකයන්ගෙන් යුතු මණ්ඩලයක් එකතු වී එකඟ විය හැකි වැඩසටහනක් පිළිබඳව එකතු වීමට කටයුතු කරනවා. ඒ පිළිබඳව මේ සතියේ කතා කර අවසන් කරන බව අගමැතිතුමා පැවසුවා. පාර්ලිමේන්තුව මේ වැඩකටයුතු කරන තුරු මා බලා සිටිනවා. මේ සමඟම අලුත් නීති ගෙන එනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් නීතියක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ එමෙන්ම සත්‍ය කොමිසම පිළිබඳ, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතක්, රජයේ තට්ටු නිවාස ලබා දීමට නීතියක්, ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා දීමේ නීතියක්, දේශගුණ විපර්යාස අවම කිරීමේ අලුත් නීතියක්, යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරන නීතියක් ගෙන එනවා. මේවා සිදු කිරීම මර්දනය ද?

සියලු නීති ගෙන එන්නේ රට ශක්තිමත් වූ කර අලුත් පාලනයක් ගෙන එන්නයි. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ජන සභා යෝජනාවයි. හිටපු කථානායක කරු ජයසූරිය මහතා දේශපාලනයෙන් තොරව ජනතාවට වැඩ කටයුතුවලට සහභාගි වීමට සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ජන සභාවක් ඇති කිරීමට යෝජනා කර තිබෙනවා.මීට පෙර ප්‍රේමදාස ජනාධිපති ග්‍රාමෝදය මණ්ඩල යෝජනා කළා.

එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව මෙන්ම පක්ෂ නැති අය සියලුම දෙනා එකතු කරගෙන ගම් 14 000 ම එකතු කරගෙන අප ඉදිරියට යමු. එය විශාල වෙනසක්.

මෙවර මහ කන්නයට පොහොර. ඉන්ධන හා බීජත් ලබා දෙනවා, විශාලතම අස්වැන්න මෙවර ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අප සියලු දෙනා එකතු වී මේ කටයුතු කරමු. විදේශ විනිමය ලබා ගැනීමේ කෙටිම ක්‍රමය වන රටට සංචාරකයන් ගේන්න අප සියලු දෙනා එකතු වෙමු. අද මේ රටේ ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට අටයි දශම පහයි. මෙය 2025 වන විට සියයට පහළොව කළ යුතුයි. එසේම සියයට දහනවය දක්වා වැඩි කර ගත යුතුයි.

අපි අලුත් ආර්ථිකයක් හදමු. මෙයට හරස් වෙන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ, අප මේ ගමන යමු. අපට බැරි ඇයි ලෝකයේ වෙළෙඳපොළ අල්ලගන්න ? ජපානයට, කොරියාවට වතුර නැති සිංගප්පූරුවට පුළුවන් වුණා නම්, වැලි විතරක් වැඩිපුර තිබෙන ඩුබායි රටට පුළුවන් වුණා නම් අපට බැරි ඇයි?

සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අප එකතු විය යුතුව තිබෙනවා. ඩි.එස්. සේනානායක මහතා ගෙන ගියේ රට එක්ව ගොඩනැඟීමේ සංකල්පයයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනාට ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිගන්නා ලෙස එතුමා පැවසුවා.

සජබය වුවත්, පොහොට්ටුවේ වුවත්, ජනතා විමුක්ති පෙරමුණේ වුවත්, ටී.එන්.ඒ. එකේ වුණත්, දෙමළ කොංග්‍රස වුවත්, ඊ.පී.ඩී.පී. සංවිධානයේ වුවත්, එක්සත් ජාතික පක්ෂයේ වුවත්, ස්වාධීන වුවත් අප එක මවකගේ දරුවෝ. අප එකතු වෙමු. එකතු වී මේ රට ඉදිරියට ගෙන යමු. එය කළ යුත්තේ මා වෙනුවෙන් නොවේ, එකතු වෙන්න කියන්නේ රට වෙනුවෙන්.

ඊ. පී. ඩී. පී. නායක ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මුස්ලිම් කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ජාතික මුස්ලිම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි, සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු දේශපාලන නායකයෝ පිරිසක් සෙසු පක්ෂ නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවී කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, ඩී. එම්. ස්වාමිනාදන් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානානායක යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.