පළමු මාස අටේ විදෙස් සංචාරකයන් ලක්ෂ 5ක් ඇවිත්

කොවිඩ් – 19 වසංගත තත්ත්වයත් සමඟ පසුබෑමට ලක්වූ මෙරට සංචාරක කර්මාන්තය යළිත් වරක් යථා තත්ත්වයට පත් කරමින් මේ වසරේ ගතවූ මාස අටක පමණ කාලයේදී විදෙස් සංචාරකයන් 500,472 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ තත්ත්වය පසුගිය 2021 වසරට සාපේක්ෂව විශාල වර්ධනයක් වන අතර මේ මස මුල් දින හතරේදී පමණක් විදෙස් සංචාරකයන් 4,042 දෙනකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

පසුගිය 2021 වසරේදී විදෙස් සංචාරකයන් 194,495 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඊට සාපේක්ෂව මේ වසරේදී විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව ද මේ වසරේ වැඩිම සංචාරකයන් පිරිස වන 106,500ක ප්‍රමාණය මාර්තු මාසයේදී මෙරටට පැමිණ තිබෙන බව ද එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ වසරේ ජනවාරි මාසයේදී 82,327 දෙනකු ද පෙබරවාරි මාසයේදී 96,507 දෙනකු ද මෙරටට පැමිණ තිබෙන අතර ඊට අමතරව අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව 62,980කි. ඊට අමතරව මැයි මාසයේදී 30207ක්, ජූනි මාසයේදී 32856ක්, ජූලි මාසයේදී 47293ක් සහ අගෝස්තු මාසයේදී 37760 දෙනකු වශයෙන් විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අතර මේ වසරේ ගතවූ කාලය ගත්විට වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් මෙරටට පැමිණ තිබෙන අතර එම සංඛ්‍යාව 80,976කි. ඊට අමතරව එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, යුක්රේනය, පෝලන්තය, මාලදිවයින, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය හා කසකස්තානය වැනි රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published.