මාස 7ට අපනයන ආදායමේ 12.9%ක වර්ධනයක්

පසුගිය 2021 වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම සියයට 12.9කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2021 වසරේ මුල් මාස හයක කාලයේදී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 6,803ක් ලෙස වාර්තා වී තිබෙන අතර ඊට සාපේක්ෂව මේ වසරේ එම කාලයේදී අපනයන ආදායමේ වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 7,678ක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, කොළඹ කොටස් වෙළෙඳපොළ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තයන්ට අනුව මේ ආදායම ගණනය කිරීම සිදු කර තිබෙන අතර අපනයන ආදායම ඉහළ යෑමත් සමඟ වෙළෙඳ ශේෂයේ හිඟය අවම කර ගැනීමට ද හැකියාව ලැබී තිබේ.

මේ වසරේ ජූලි මාසයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 1,164 ක අපනයන ආදායමක් ඉපයීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර එය පසුගිය වසරේ ජූලි මාසයේදී උපයාගත් අමෙරිකානු ඩොලර් මිලියන 1,104ට සාපේක්ෂව සියයට 5.4ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියි.

කෙස් වුවද පසුගිය වසරේ මුල් මාස හතක කාලයේ මෙරට ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 11,725ක් ලෙස වාර්තා වී තිබෙන නමුත් ඊට සාපේක්ෂව මේ වසරේ එම කාලයේදී සියයට 3.5ක පහළ යෑමක් වාර්තා කරමින් ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 11,315ක් දක්වා පහත වැටී තිබේ.

Leave a Reply

Your email address will not be published.