CID වෙස් ගෙන කොල්ලයකට ගිය PC ඇතුළු තිදෙනා ගැන CID විමර්ශන

රහස් පොලිසියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රඹුක්කන දැලිවල කොටවෙහෙරේ ධාතු මන්දිරයෙන් සොරාගත් රන් කරඬු සහ රන් ආභරණ සඟවා ඇතැයි පවසමින් රඹුක්කන පිහිටි නිවෙසකට කඩාවැදී නිවෙස් හිමි කාන්තාව සතු රන් ආභරණ කොල්ලකෑමකට සූදානම් වූ බිබිල පොලිසියේ කොස්තාපල්වරයකු ඇතුළු සැකකරුවන් තිදෙනකුගෙන් රහස් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ මේ සැකකරුවන් තිදෙනා අතර දැලිවල කොටවෙහෙරේ සිදු වූ රන් කරඬු සොරකමට සැක කෙරන කරඬු නිහාල් නමැති පුද්ගලයා ද සිටින බැවිනි. දැලිවල කොටවෙහෙරේ ධාතු මන්දිරය බිඳ එහි තැන්පත් කර තිබුණු පෞරාණික රන් කරඬු පහක් සහ පළිඟු කරඬු 03ක් සොරාගෙන ගොස් තිබුණේ ඉකුත් පෙබරවාරි 12 වැනිදාය. පොලිස්පති නියමයෙන් එම සොරකම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කරනු ලැබීය. එම පොලිස් කණ්ඩායම පෙබරවාරි 14 වැනිදා සිට මේ දක්වාම රඹුක්කන රැඳී සිටිමින් එම විමර්ශන කටයුත්තේ නිරතව සිටින්නේ මෙතෙක් එම සොරකමට සම්බන්ධ කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බැවිනි.

දැලිවල කොටවෙහෙරෙන් සොරාගත් රන් භාණ්ඩ ඇතැයි පවසමින් මේ සැකකරුවන් තිදෙනා කඩාවැදී ඇත්තේ පොලියට මුදල් දීම සිය ජීවිකාව කරගත් කාන්තාවකගේ නිවෙසකටය. එම කාන්තාවගේ සැමියා ජීවතුන් අතර නැති බවත් වැඩිමල් දරුවා මැදපෙරදිග රටක රැකියාවක නිරතව සිටින බවත් පොලිසිය කියයි. ඇය රඹුක්කන නිවෙසේ ජීවත් වන්නේ බාල දරුවා සමඟය. රහස් පොලිසියේ නිලධාරීන් ලෙස පැමිණි මේ කොල්ලකරුවන් නිවෙසට කඩාවදින විට නිවෙසේ සිට ඇත්තේ ද බාල දරුවා සහ ඇය පමණි. පොලිස් කොස්තාපල්වරයාත් කරඬු නිහාල් නමැත්තාත් ඉකුත් 03 වැනිදා යතුරු පැදියකින් මේ කාන්තාව පදිංචි නිවෙසට පැමිණ ඇති අතර එම පාගමිනින් පැමිණ නිවෙස පෙන්වා ඇත්තේ කරඬු නිහාල්ගේ සහෝදරයා වන නීල් නමැත්තා බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නීල් නමැත්තා ද සිටියි. මාංචු කුට්ටමක් සහ සෙල්ලම් පිස්තෝලයක් ඇතැතිව නිවෙසට කඩාවැදුණු ඔවුන් තමන් රහස් පොලිස් නිලධාරීන් යැයි කියමින් නිවෙස් හිමි කාන්තාව බිය ගන්වමින් ඇගෙන් ඉල්ලා ඇත්තේ කොටවෙහෙර දාතු මන්දිරයෙන් සොරාගත් රන් ආභරණය. එහිදී ඇය පවසා ඇත්තේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය. කරේ ඇති මාලය හැරුණුකොට වෙන කිසිදු රන් භාණ්ඩයක් තමා සතුව නැති බවත් බොහෝ රන් භාණ්ඩ ඇත්තේ බැංකුවට උකස් කර බවත් එහිදී ඇය පවසා තිබෙන බව පොලිසිය සඳහන් කරයි. එය සනාථ කිරීමට ඇය විසින් බැංකුවේ රන් භාණ්ඩ උකස් කිරීමේදී දෙන බිල්පත් කිහිපයක් ද ඔවුන්ට පෙන්වා ඇත. එහිදී රහස් පොලිස් වෙස්ගත් කොල්ලකල්ලිය විසින් ඇයට පවසා ඇත්තේ එම රන් භාණ්ඩ ඉක්මනින්ම බැංකුවෙන් බේරාගෙන තමන්ට දුරකථන ඇමතුමක් දෙන ලෙසය. ඊට හේතු ලෙස ඔවුන් පවසා ඇත්තේ එම රන් භාණ්ඩ පරීක්ෂා කිරීමට අවශ්‍යයැයි කියාය. ඇය ඊට එකඟ වීමෙන් අනතුරුව ජංගම දුරකථන අංකයක් දෙමින් ඇගේ කරේහි බැඳි රන් මාලය පරීක්ෂා කිරීමට රැගෙන යෑමට ඉල්ලා තිබෙන බවත් ඇය ඊට විරෝධය දැක්වීමෙන් පසු ඔවුන් පලා ගොස් තිබෙන බවත් පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් එම කාන්තාව රඹුක්කන පොලිසියට කළ දැනුම් දීමකට අනුව කළ සොයා බැලීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සම්බන්ධයක් ඊට නැති බව අනාවරණය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් තිදෙනාව රඳවාගෙන වැඩිදුර විමර්ශන පැවැත්වෙන බව රඹුක්කන පොලිසිය සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මේ සැකකරුවන්ගෙන් දැලිවල කොටවෙහෙරේ ධාතු මන්දිර සොරකම ගැන ප්‍රශ්න කරන බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.