සිංහයෝ වසර 8කට පසු අවසන් තරගයේ දොරටුව අබියසට

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ වසර 8කට පසු ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේ දොරටුව අබියසට පැමිණෙයි. පිට පිට දෙවතාවක් ආසියා කුසලානය දිනා සිටි වත්මන් ශූරයන් ලෙස හා දස වතාවක් අවසන් මහා තරගයට පිවිස එයින් 7 වතාවක්ම ශූරතාව දිනා ආසියාවේ ක්‍රිකට් රජු ලෙස සිටි ප්‍රබල ඉන්දීය කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමා ඊයේ පැවති සුපිරි හතර වටයේ තරගයෙන් සිංහයෝ කඩුලු 6ක ජයක් ලබා ගත්හ.

ශ්‍රී ලංකාව තරග දෙකක් ජයගෙන ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, ඉන්දියාව තරග දෙකක් පරාජය වී සුපිරි හතර වටයේ අවසන් ස්ථානයට පත්ව සිටී. පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර අද සාජා පිටියේ පැවැත්වෙන තරගයෙන් පාකිස්තානය ජයගත හොත් ශ්‍රී ලංකාව හා පාකිස්තානය මේ 11 දා පැවැත්වෙන අවසන් මහා තරගයේදී මුණගැසෙනු ඇත.

එහෙත් සුපිරි වටයේ ඉදිරියේ ඇති තරගවල ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය තරග දෙක බැගින් ජය ගැනීම සටහන් වුව හොත් කණ්ඩායම් තුනේ දළ ලකුණු වේගය අනුව අවසන් මහා තරගයට යන කණ්ඩායම් දෙක තීරණය වේ. කෙසේ වුවද සුපිරි හතර වටයේ තරගයක් පරාජය වී සිටින ඇෆ්ගනිස්තානයට ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියාව හා පාකිස්තානය සමඟ තරග දෙකම ජයගැනීම අසීරු කරුණක් වනු ඇතැයි විචාරක මතය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව හා පාකිස්තානය අවසන් තරගයට පිවිසෙනු ඇතැයි ප්‍රබලතම විශ්වාසය වී තිබේ.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක මුලින් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර, එහිදී ඕවර 20 තුළදී කඩුලු 8කට ලකුණු 173ක් වාර්තා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 4කට ලකුණු 174ක් රැස් කර ගත්තේය. දසුන් ශානක මේ තරගාවලියේ පිට පිට තෙවැනි වරටත් කාසියේ වාසිය දිනා ඉලක්කය පසුපස හඹාගොස් තරගයේ ජය වාර්තා කිරීම විශේෂත්වයකි.

පන්දු 34කදී 5 වැනි කඩුල්ලට ජයග්‍රාහී නොබිඳුණු ලකුණු 64ක සම්බන්ධතාවක් ගොඩනැඟූ නායක දසුන් ශානක හා භානුක රාජපක්ෂ තරගයේ සමාප්තිය සටහන් කළහ. ශානක පන්දු 18කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 33ක්ද, භානුක රාජපක්ෂ පන්දු 17කදී හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 25ක්ද ලබා ගත්හ.

එල්පීඑල් ඇතුළු විස්සයි20 ක්‍රිකට් තරග රටාවේ ‘ඔස්තාර්ලා‘ ලෙස වැජඹුණු ඉන්දීය පන්දු යවන්නන්ට එලව එලවා පහර දෙන්නට ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක සමත් වූ අතර, මේ දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 67කදී ලකුණු 97ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. පැතුම් නිශ්ශංක සිය 6 වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කොට සුළු වේලාවකදී දැවී ගිය අතර, චාහල්ගේ පන්දුවකට එල්ල කළ රිවර් ස්විප් පහර උඩ පන්දුවක් ලෙස රෝහිත් ෂර්මා රැක ගත්තේය. ඔහු පන්දු 37කදී හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 52ක් රැස් කළේය.

තම යුතුකම මැනවින් ඉටු කළ කුසල් මෙන්ඩිස් තම 8 වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 37කදී හයේ 3ක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 57ක් රැස් කිරීම කැපී පෙනිණි.

දඟ පන්දු යැවූ යුෂ්වෙන්ද්‍ර චාහල් යැවූ 12 වැනි ඕවරයේදී කඩුලු 2ක් දවා ගැනීමෙන් ලකුණු වේගය තරමක් අඩාළ විය. එම ඕවරයේදී උප නායක චරිත් අසලංක ලකුණු බින්දුවකට හා කුසල් මෙන්ඩිස් දවා ගැනීමට චාහල් සමත් විය. ධනුෂ්ක ගුණතිලකට ද ඊයේ එතරම් සුබ නොවූ අතර, අශ්වින්ගේ පන්දුවකට ‘මිඩ් ඕෆ්‘ හි සිටි රාහුල් අතට උඩපන්දුවක් දී ලකුණු 1කට දැවී ගියේය.

ඉන්දියාවට ආරම්භයේ සිටම පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

මහේෂ් තීක්ෂණ තමාගේ පළමු ඕවරයේදීම කේ.එල්. රාහුල් කඩුල්ල මුවා කිරීම වරදට හසුකරගත් අතර, එවිට ඉන්දීය ලකුණු පුවරුව 11කි. වේග පන්දූ යවන දිල්ෂාන් මධුසංඛ කෝලීව ගොදුරක් බවට පත් කර ගැනීමෙන් ලකුණු වේගය අඩු කර ගැනීමට හැකියාව ලැබිණි. නිමා වූ පාකිස්තානය සමඟ තරගයේදී කලකට පසු ලකුණු අතරට පැමිණි විරාට් කෝලී ‘මිඩ්විකට්‘ දෙසට දැවැන්ත පහරකට යෑමේදී මධුසංඛගේ පන්දුව මැද ඉන්නේ වැදී ලකුණු 0කට ක්‍රීඩාගාරයට ගියේය.

එහෙත් අසිත ප්‍රනාන්දු යැවූ ඉන්දීය ඉනිමේ 5 වැනි ඕවරයේදී ලකුණු 16ක් ලබා ගැනීමට රෝහිත් ෂර්මා මුල් විය. පන්දු 41කදී ලකුණු 72ක් වාර්තා කළ රෝහිත් ෂර්මා ඉන්දීය ඉනිම ඔසවා තැබීමට සමත් විය. රෝහිත් හා සූර්ය කුමාර් යාදෙව් එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 58කදී ලකුණු 97ක් එක් කිරීමට සමත් විය. රෝහිත්ගේ 28 වැනි විස්සයි 20 අර්ධ ශතකයට හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඇතුළත් විය.දීපාක් හූඩා මුහුණදුන් පළමු පන්දුවටම ‘ෂෝට් තර්ඩ් මෑන්හි‘ සිටි දිල්ෂාන් මධුසංඛ වෙත උඩ පන්දුවක් ලබා දුන්න ද දසුන් ශානක එවූ පන්දුව ක්‍රීඩකයාගේ උරහිසට උඩින් ගිය බවට රූපවාහිනී පුනරූපන සහතික කළ හෙයින් එය නිපන්දුවක් ලෙස සංඥා විණි. දිල්ෂාන් මධුසංඛ යැවූ ඉන්දීය ඉනිමේ 19 වැනි ඕවරයේදී රිෂාඩ් පාන්ට් හා දීපාක් හූඩා දවා ගැනීමෙන් ඉන්දීය ලකුණු පුවරුව පහළ ගියේය.

මේ තරගයේදී කැපී පෙණෙන පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් මධුසංඛ ලකුණු 24කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, චාමික කරුණාරත්න හා දසුන් ශානක කඩුලු 2ක බැගින් බිඳ දැමූහ.

Leave a Reply

Your email address will not be published.