ග්ලයිෆොසෙට් අනුමැතියට එරෙහිව පෙත්සමක්

ග්ලයිෆොසෙට් වල්නාශක තහනම් කරමින් පනවා තිබූ නියෝග ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ග්ලයිෆොසෙට් වල්නාශකය  තහනම් කරමින් 2017 වසරේ නිකුත් කර තිබූ නියෝග ඉවත් කරමින් ඒවා භාවිතය සඳහා අවසර දෙමින් වර්තමානයේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවය.

ග්ලයිෆොසෙට්  භාවිතාව හේතුවෙන් ජල මූලාශ්‍රවලට දැඩි හානියක් සිදුවන බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

පස් සහ පැළෑටිවලටත් ඉන් විශාල අගතියක් සිදුවන බව එම පෙත්සම පෙන්වා දී තිබේ.

මේ හරහා මිනිස් සෞඛ්‍යයට ද දැඩි හානියක් සිදුවන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් එම වල්නාශක භාවිතාව තුළින් මත්ස්‍යයින්, පක්ෂීන් වැනි ජීවීන්ටද අගතියක් සිදුවන බව පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම හරහා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම තහනම ඉවත් කිරීමේ නියෝගය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published.