ගල්අඟුරු ටෙන්ඩරය ගැන සොයන්න ඇමතිගේ යෝජනාවට මුදල් කාරක සභාවේ අවධානය

ගල්අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විමර්ශනයක් සිදුකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ විමර්ශනය සිදුකරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව අදාළ විමර්ශනය සඳහා කථානායකවරයා දැනුවත් කර අද (08) දිනයේදී විගණකාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර රටේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සකස් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී යෝජනා වී තිබේ.

එහි පළමු වැඩසටහන ලෙස උද්ධමනය සහ පොලී අනුපාතය අතර ඇති සම්බන්ධය පිළිබඳ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය අවශ්‍ය බව ද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published.