බ්‍රිතාන්‍ය මහ රැජින කඩ නොකළ පොරොන්දුව

අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජින විසින් කළ ප්‍රකාශයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත.

අදාළ ප්‍රකාශයෙන් ඇය සඳහන් කර ඇත්තේ තමන් වයස 21 දී ජනතා සේවය වෙනුවෙන් ජීවිතය කැපකරන බවට පොරොන්දු වූ බවය.

වසර 30 ට පෙර දකුණු අප්‍රිකාවේ තමන් කළ සංචාරය අතරතුර දුන් පොරොන්දුව යළි සිහිපත් කරමින් සිය රිදී ජුබිලිය අවස්ථාවේදී දෙවැනි එළිසබෙත් රැජින ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි.

“මට වයස 21 දී, ජනතා සේවය වෙනුවෙන් මගේ ජීවිතය කැප කළා. මා දෙවියන්ගෙන් ඉල්ලුවේ ඒ පොරොන්දුව හොඳින් ඉටුකරන්න උදව්වෙන්න කියලයි. ඒක තීන්දු ගැනීම ගැන එතරම් පළපුරුද්දක් නැති, මගේ තරුණ වියේදී දුන් පොරොන්දුවක් වූවත්, ඒ පොරොන්දුවේ එක වචනයක් ගැන හෝ මට කනගාටුවක් නෑ වගේම වචනයක්වත් මා වෙනස් කරන්නෙත් නෑ.”

පුංචි එළිසබෙත් කුමරිය 1926 වර්ෂයේ අප්‍රේල් මස 21 වනදා ලන්ඩන්හිදී උපත ලැබීය.

පස්වන ජෝර්ජ් රජුගේ දෙටු පුත් යෝර්ක් හි ඇල්බර්ට් ආදිපාදවරයාගේ මෙන්ම ආදිපාදවරිය වූ එළිසබෙත් බෝව්ස්ල්යෝන් ආර්යාවගේ පළමු දරුවා වූයේ ඇයයි.

ඇයගේ නාමය වූයේ එළිසබෙත් අලෙක්සැන්ඩ්‍රා මේරි වින්ඩ්සර් යන්නයි.

පුංචි එළිසබෙත් සහ 1930 වර්ෂයේදී උපත ලද ඇයගේ සොහොයුරිය වූ මාගරට් රෝස් දෙදෙනාම සිය නිවසේදීම මූලික අධ්‍යාපනය හැදෑරීය.

භාෂාවන් සම්බන්ධයෙන් එළිසබෙත් තුළ නිපුණතාවයක් පැවති අතර ව්‍යස්ථාමය ඉතිහාසය පිලිබඳව සුවිශේෂී හැදෑරීමක් කර ඇති බවද ඉතිහාසයේ සඳහන්ව ඇත.

එළිසබෙත් සිය පියාට මෙන්ම මුත්තණුවන් වූ පස්වන ජෝර්ජ් රජුට අතිශය සමීපව කුඩා කළ ගතකර ඇති බවද සඳහන්.

මේ අතර එළිසබෙත් රැජින කුඩා කළ සිටම වගකීම් පිළිබඳව සුවිශේෂී අවබෝධයකින් කටයුතු කළ බවද ඉතිහාසය තුළ විවිධ අවස්ථාවල තහවුරු කර ඇත.

මේ අතර සුප්‍රකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයෙකු වූ වින්ස්ටන් චර්චිල් වරක් ප්‍රකාශ කර ඇත්තේ බිළිඳෙකු තුළ ඇති පුදුම සහගත අධිකාරීත්වයක් ඇය සතුව තිබූ බවය.

වර්ෂ 1936 දී පස්වන ජෝර්ජ් රජුගේ වියෝවෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුතු වූ ඩේවිඩ් කුමරු, අටවන එඩ්වර්ඩ් ලෙස සිහසුනට පත්විය.

කෙසේ වෙතත් පෞද්ගලික කරුණු රැසක් හේතුවෙන් එම වසර අවසානයේදීම ඔහු කිරුළ අතහැරීමට තීරණය කරණු ලැබීය.

ඒ අනුව යෝර්ක් ආදිපාදවරයා වූ එළිසබෙත් රැජිනගේ පියා 1937 වසර වනවිට සිහසුනේ රැඳී සිටියේ හයවන ජෝර්ජ් රජු ලෙසටය.

වර්ෂ 1944 පමණ වනවිට ඇයගේ ඥාති සොහොයුරෙකු වන ග්‍රීසියේ පිලිප් කුමරු හා 18 හැවිරිදි වියේ පසුවූ එළිසබෙත් කුමරිය පෙමක් හටගෙන තිබූ බව නොරහසකි.

පිලිප් කුමරු ඒ වනවිට රාජකීය නාවික ඇකඩමියේ කැඩෙට් නිලධාරියෙකි.

එළිසබෙත් ලෝක යුද්ධය අවසාන කාලසීමාවේදී සහායක බල ප්‍රදේශයේ සේවය සඳහා එක්ව ඇති අතර එහීදී ලොරි පැදවීමටත් එමගින් සේවා සැපයීමටත් ඉගෙන තිබේ.

විවිධ බාධක එල්ලවෙද්දී තම හිත දිනාගත ප්‍රේමය යතාර්ථයක් බවට පත්කරගන්නට එළිසබෙත්ට හැකියාව ලැබෙන්නේ වර්ෂ ලෝක යුද්ධය නිමාවෙන් පසුව 1947දීය.

එම වසරේ නොවැම්බර් මස 20 වනදා එළිසබෙත් පිලිප් කුමරු හා විවාහ වී ඇත.

ඒ වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේදීය.

ඔවුන්ගේ පළමු දරුවා ලෙස චාර්ල්ස් කුමරු උපත ලබන්නේ වර්ෂ 1948දී වන අතර ඔහුගේ සොහොයුරිය වන ඈන් කුමරිය 1950 වසරේදී උපත ලබා ඇත.

උග්‍ර දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකාවකින් පීඩා විඳි හයවන ජෝර්ජ් රජු 1952 වසරේදී අභාවප්‍රාප්ත වී තිබේ.

එවිට එළිසබෙත් රැජින කෙන්යාවේ සංචාරයක නිරතව සිට ඇති අතර සිය පියාගේ අභාවය සැලවූ වහාම ඇය ලන්ඩන් වෙත පැමිණ ඇත.

ඒ අනුව වර්ෂ 1953දී දෙවැනි එළිසබෙත් රැජින ලෙස ඇය රාජාභිෂේකය ලබා තිබේ.

විවිධ විරෝධතා මැද එම අවස්ථාව සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශය කර ඇති අතර ඉතිහාස වාර්තා පොත් අලුත් කර ඇත්තේ මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් පළමුවරට රූපවාහිනිය එකවර නරඹා ඇති අවස්ථාවක් ලෙසටය.

දෙවැනි එළිසබෙත් රැජින අභිනව රාජාභිෂේකයෙන් අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ දීර්ඝ සංචාරයක් ආරම්භ කර තිබේ.

1977 දී ඇය පාර්ලිමේන්තුව හමුවේ කළ  ප්‍රකාශය ලෝකයේම අවධානයට ලක්විය.

“මගේ මුතුන් මිත්තන් අතර වන එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ රජුන් රැජිණන් වගේම වේල්සයේ කුමාරවරුන් ගත්තොතින් මේ අපේක්ෂාවන් ගැන ඉතා පැහැදිලිව මට තේරුම් ගන්නට පුළුවන්. නමුත් මට අමතක කරන්නට බැහැ, මම මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියේ වගේම උතුරු අයර්ලන්තයේත් කිරුළු පළන් රැජිණ බව”

විවිධ දේශපාලනික අර්බුද යුධ ගැටුම් රජ පවුලේ ගැටළුවලට මුහුණදෙමින් ඉදිරියට ආ ඇය 1992 වසර හඳුන්වාදෙනු ලැබුවේ අභාග්යයේ වසර ලෙසටය.

රැජිනගේ ජීවන ගමනේ බරපතළම විවේචනයට ලක්වූයේ වර්ෂ 1997 දීය.

ඒ වේල්සයේ කුමරිය ලෙස හැඳින්වූ ලෝකයේ ම ආකර්ෂණය දිනාගත් ඩයනා කුමරියගේ මරණයත් සමඟය.

එම වසරේ අගෝස්තු මස ප්‍රංශයේදී මෝටර් රථ අනතුරකට ලක්වීමෙන් ඩයනා කුමරිය දිවියෙන් සමුගෙන ගියේ ලොවම කඳුළු සාගරයක ගිල්වමිනි.

එය විචාරයකයින් හැඳින්වූයේ බ්‍රිතාන්‍යයේ කිරීටය සෙලවූ මොහොතක් ලෙසය.

විවිධ චෝදනා මධ්‍යයේ වුවද සිය ලේලිය වූ ඩයනා කුමරියට ගෞරවය පුදකිරීමට ඇය පසුව සජීවී විකාශයකට එක්විණි.

2002 වසරේ දී රැජින කිරීටයට පැමිණීමේ ස්වර්ණ ජයන්තියේ ජාතික සැමරුම් උත්සව අල්ප වීමට ඇයගේ මව් රැජිනගේ අභාවය සහ සොහොයුරිය වූ මාග්‍රට්ගේ අභාවයයි.

2006 වසරේදී සිය 80 වන ජන්ම දිනය සමරන එළිසබෙත් වින්ඩ්සර්හි වීදියකදී රැජිනට දහස් ගණනක ජනතා සුබපැතුම් ලැබිණි.

මේ අතර රැජිනගේ ජීවන ගමනේ තවත් වැදගත් සංධිස්ථානයක් වූ විවාහ දිවියේ 60 වන සැමරුම සිදුකෙරුණේ 2007 වසරේදී වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේදී දෙදහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙනි.

නැවතත් ලොවපුරා දෙවැනි එළිසබෙත් රැජින පිළිබඳව සුවිශේෂී කතාබහක් ඇතිවූයේ 2011 වසරේ අප්‍රේල් මාසයේදී සිය මුණුපුරු කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරුගේ සහ කේට් මිඩ්ල්ටන්ගේ විවාහයට එක්වීමත් සමඟය.

සිය මී මිත්තණිය වූ වික්ටෝරියා රැජිණ අභිබවා යමින් 2015 වර්ෂයේ සැප්තැම්බර් 9 වනදා ඇය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝ කාලයක් කිරීටයේ රැඳුණු පුද්ගලයා බවට පත්විය.

2016 අප්‍රේල් මාසයේදී ඇය සිය 90 වෙනි උපන්දිනය සැමරුවාය.

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ 96 හැවිරිදි දෙවන එලිසබෙත් රැජින වසර 70 ක් කිරීටය හොබවා බැල්මොරල්හිදී මිය ගියාය.

ඇයගේ අභාවයත් සමඟ ඇයගේ වැඩිමහල් පුත් චාල්ස්, හිටපු වේල්ස් කුමරු, ශෝකයට පත් රටේ රාජ්‍ය නායකයා ලෙස සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 14 ක නව රජු ලෙස කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published.