මත්ද්‍රව්‍ය නඩුවේ සැකකරුවන් 5දෙනාට අධිචෝදනා භාරදෙයි

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 196කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනෙකුට අද (09) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා භාරදී තිබේ.

මෙම නඩුව අද ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ  කැඳවනු ලැබීය.

එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් පස් දෙනෙකුට නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර භාරදුනි.

ඉන් අනතුරුව ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබුණි.

මෙම නඩුවට අදාළ විභාගය කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් එබැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔවුන් නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

අනතුරුව මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 23 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේය.

2019 වසරේ අප්‍රේල් මස 21වනදා උතුරේ කන්කසන්තුරේ ප්‍රදේශයේ සිට ඈත ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 196ක් සහ ග්‍රෑම් 986ක් මෙරටට ගෙන්වීම, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කර තිබේ.

හෙරොයින් මත්ද්‍රව්‍ය නඩුවක් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.