ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ආධාරයක්

ජපන් අරමුදලිනුත් ඩොලර් මිලියන 3ක්

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 203ක ආධාරයක් ශ්‍රී ලංකාවට දීමට ආසියානු සංවර්ධන බැංකුව සහ ජපන් අරමුදල තීරණය කර තිබේ.

ඒ අනුව ආහාර සුරක්‍ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේදී ඊයේ (09) සිදුකෙරුණු අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බංකුවේ මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් මහත්වරු ඊට අත්සන් කළ බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සවිමත් කිරීම වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 200ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ශ්‍රී ලංකාවට දීමට නියමිතව තිබෙන අතර, ජපාන අරමුදල මඟින් අමෙරිකානු ඩොලර් මිලියන තුනක පමණ මුදලක් දීමට නියමිතයි.

විශේෂයෙන්ම කාන්තාවන්ගේ හා ළමුන්ගේ සංවර්ධනය වෙනුවෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 203.36ක් බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින්ද යම්කිසි මුදලක් මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කිරීමට නියමිතව තිබේ. මේ ව්‍යාපෘතිය යටතේ සමෘද්ධි වැඩසටහන් සහ කෘෂිකාර්මික හා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධති, ඩිජිටල් මෙවලම් වැඩි දියුණු කිරීම සඳහා මුදල් ප්‍රතිලාභීන් තෝරා ගැනීම, සත්‍යාපනය, අධීක්ෂණය සහ සන්නිවේදනය වැඩි දියුණු කිරීම සහ අඩු ආදායම්ලාභි පවුල් සහ ගොවීන් සඳහා මූල්‍ය, උපදේශන සහ අනෙකුත් සේවා වැඩි දියුණු කිරීමද අයත් වෙයි.

මේ සමස්ථ ව්‍යාපෘතිය එළඹෙන 2024 වසරේ පෙබරවාරි මස 29 දා අවසන්වීමට නියමිතව තිබෙන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය වැඩි දියුණු කිරීම වෙනුවෙන් විශාල සහායක් හිමිවන බවද මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය කියයි.

Leave a Reply

Your email address will not be published.