ඉදිරි වර්ෂ 3 තුළ නිවාස ඒකක 19,000 ක් සංවර් ධනය කිරීමටත් පියවර

ජාතික නිවාස අධිකාරියේ ආදායම වැඩිකර ගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙලක් සැකසේ. ජාතික නිවාස අධිකාරිය සතු ඌණ උපයෝජිත ඉඩම්, කඩසාප්පු හා නිවාස විධිමත් පරිදි බැහැර කිරීම, ණය අයකර ගැනීම කඩිනම් කිරීම තුළින් ආදායම් තත්වය ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.
ඒ සඳහාවන වැඩ පිළිවෙල ඉදිරි මාස 03 ඇතුළත කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා බළධාරීන්ට උපදෙස් දුන්නේය.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් සමග සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ සිකුරාදා (09) පැවති සාකච්ඡාවකදීය.
ආයතනයේ ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් පිළිබදව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙය පැවැත්විණ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබාදී ඇති ණය ආපසු අයකර ගැනීම විධිමත්කර කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කොට ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
සහනදායි පොළී අනුපාතයක් යටතේ නිවාස ණය ලබා දීම තුළින් ඉදිරි වර්ෂ 03 තුළ නිවාස ඒකක 19,000 ක් සංවර්ධනය කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉලක්කයයි. ඒ අනුව 2023 වසර තුළ නිවාස ඒකක 6,000 ක් සදහා ප්‍රතිලාභ සැලසීමට සැලසුම් කර තිබේ. 2023 වසර සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 6,000 කි. එයින් රුපියල් මිලියන 1,000 මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අරමුදල් වලින් යෙදවීමට කටයුතු කෙරේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතුව පවතින නිවාඩු නිකේතන හා උත්සව ශාලා නවීකරණය කර ඒ තුළින් ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමටත්, දැනට ඉදිකරගෙන යනු ලබන නිවාස ව්‍යාපෘතිවල නිවාස කඩිනමින් අලෙවි කිරීමටත් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මේ වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතුව නිවාඩු නිකේතන 11 ක් පවතී. එයින් 5 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පවතින උත්සව ශාලා 3 ක් නවීකරණය කිරීම සදහා රුපියල් මිලියන 171 ක් අධිකාරියේ අරමුදල් වලින් යෙදවීමට අපේක්ෂා කෙරේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දැනටමත් කුලී සින්න නිවාස ව්‍යාපෘතිය, මිහිදු නිවහන ව්‍යාපෘතිය, “ඔබට ගෙයක් රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතිය සහ සියපත නිවාස ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ. මේ වනවිට රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම ව්‍යාපෘති තාවකාලික පසු බෑමකට ලක්ව ඇතත් එම ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු කඩනමින් යථා තත්ත්වයට පත්කරන බව අමාත්‍යවරයා පවසයි.
ආයතනයේ සේවක අභිප්‍රේරණය සදහා කටයුතු කිරීම තුළින් සේවකයන්ගේ ඵලදායිත්වය ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා ඒ තුළින් සේවකයින්ගේ කාර්යක්ෂමභාවය වර්ධනය කර ගත හැකි බව ඇමතිවරයා පෙන්වා දෙයි.
මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.