අන්තර් පාර්ලිමේන්තු මහලේකම් අද ජනපති හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චොන්ගොන් මහතා අද (13) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද ආරාධනයකට අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චොන්ගොන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12) දිවයිනට පැමිණියේය.

දිවයිනට පැමිණි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ඊයේ දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී මෙරට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් කථානායකවරයා විසින් මහලේකම්වරයාව දැනුවත් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් අනතුරුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේදී එම හමුව සිදුවූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය.

අනතුරුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චොන්ගොන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබේ.

මෙරට වත්මන් දේශපාලන සහ ආර්ථික තත්වය පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

දෙදින නිල සංචාරය නිම කරමින් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා අද දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.