සීගිරිය බලකොටුවක් නොවන බවට අනාවරණයක්

සීගිරිය බලකොටුවක් නොවන බවට පර්යේෂණවලින් තහවුරු වී ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.

සංචාරක අමාත්‍යංශ ලේකම් චූලනන්ද පෙරේරා මහතා ප්‍රකාශ කළේ, උද්‍යානයක් ලෙස සීගිරිය භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවය.

මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් චූලනන්ද පෙරේරා මහතා එම අදහස් පළ කළේය.

“සංචාරක මධ්‍යස්ථානයක් හැටියට සීගිරිය මුළු ලෝකෙම දන්නවා. නමුත් සීගිරියේ හරි දේ ලෝකෙට යන්නේ නෑ. සීගිරිය ලෝක පූජිත සංචාරක සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස නම් කළත් ඒ පිළිබඳව හරි ක්‍රමවේදයක් නෑ. ඒ නිසා මේක හරි තත්ත්වයට දාන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සංස්කෘතික මධ්‍යස්ථානයත් යුනිසෙෆ් එකේ නිලධාරිනුත් හැමදෙනාම ඒකරාශී වෙලා ඉතාමත්ම ධනාත්මකව සාකච්ඡාවක් පැවැත්වුණා. අපි හැමදෙනාම මේ සීගිරියට යනවා සීගිරිය බලකොටුවක් කියලා හිතාගෙන. සීගිරිය බලකොටුවක් වුණානම් ඔච්චර ලස්සනට හදලා ඔච්චර පොකුණු හදලා ඔච්චර ලස්සන මල්වතු හදලා තියෙන්නේ ඇයි. ඇත්තටම  සීගිරිය බලකොටුවක් නෙමේ සීගිරිය ලස්සන ලෙෂර් පාර්ක් එකක්. පේරාදෙණිය වගේම ලස්සනට විවේකයෙන් ඉන්න ඒ කාලේ තිබුණු ශ්‍රී වීභූතියත් එකක් රජතුමා හදපු ලෙෂර් පාර්ක්‍ එකක්. එතන සම්පූර්ණ සාධයකයත් හමුවෙලා සනාථ වෙලා ඉවරයි.”

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ඉදිරියේදී නව මෘදුකාංගයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සංචාරක අමාත්‍යාංශ ලේකම් චූලනන්ද පෙරේරා මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.