දමිතාට ඇප රට ගමන් තහනම්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12) නියෝග කළේය. ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය. රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසත් ඇයගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසටත් නියෝග කළේය. ඇප මත සිටින අවස්ථාවක දී ඇය උද්ඝෝෂණයක නිරත වූයේ නැති බවට අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමට අනුව ඇය මෙසේ ඇප මත මුදා හැරිණි. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපොළට හානි සිදු කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 8 වැනි දා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දමිතා අබේරත්න මේ 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. පසුගිය මැයි මස 25 වැනි දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියට උද්ඝෝෂණයක් සිදු කරමින් පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, අධිකරණයේ රාජකාරියේ නිරතව සිටින නිලධාරීන්, අධිකරණයට පැමිණෙන පිරිසට අයුතු අවහිරයක් සිදු කළ බව කියන සිද්ධියේ ඇප මත සිටිමින් ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ඇතුළු වීමක් කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබිණි.

Leave a Reply

Your email address will not be published.