පැහැරගත් කාන්තාවක් සමග දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි

මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් විසින් එම කාන්තාව පැහැරගෙන යමින් සිටියදී බද්දේගම පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ කාන්තාව අද (14) උදෑසන දික්වැල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට සේවයට යමින් සිටියදී පැහැරගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් පැහැරගත් කාන්තාව මෝටර් රථයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන විත් ඇති අතර බද්දේගම පිටවීමේ පිවිසුමේ දී මුදල් ගෙවා පිටව ගොස් තිබේ.

එලෙස මුදල් ගෙවා පිටව යන අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි නිලධාරීන්ට මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි කාන්තාවගේ මුඛය පුද්ගලයෙකු විසින් වසාගෙන සිටින බවට නිරීක්ෂණය වී තිබුණි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් බද්දේගම රථවාහන අංශයේ නිලධාරීන්ට මේ සම්බන්ධයෙක් දැනුම් දී තිබේ.

පසුව එම නිලධාරීන් විසින් මෝටර් රථය නවතා පරීක්ෂා කර ඇත.

මෝටර් රථයේ පිටුපස සිටි පුද්ගලයා විසින් මෝටර් රථයේ දොරවල් අඟුළු දෑමීමක් සිදුකර ඇති අතර තියුණු ආයුධයක් ගෙන කාන්තාව බලහත්කාරයෙන් රඳවාගෙන රණ්ඩු කරන බව පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත.

තත්ත්වය පාලනය කිරීම සඳහා එම ස්ථානයේ සිටි පොලිස් සැරයන්වරයා විසින් ඔහුගේ ගිනිඅවියෙන් අහසට වෙඩිතැබීමක් සිදුකර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

පසුව නිලධාරීන් විසින් පිටුපස මෝටර් රථයේ පිටුපස දොරේ වීදුරුව කඩා විවෘත කර එම සැකකරු හා කාන්තාව පිටතට ගෙන ඇත.

කාන්තාව හා සැකකරු කැපුම්තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද රියදුරු 23 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් සැකකරුද වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

අනියම් සම්බන්ධයක් හේතුවෙන් එම පැහැරගැනීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.