පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම ගැන දොස්තර කාවින්ද ජිනීවාහීදී කියයි

ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරයේදී සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා අදහස් දැක්වීය.

අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රීවරයා මානව හිමිකම් සැසිවාරයේදී අදහස් දැක්වූ අතර එහිදී තවදුරටත් මෙසේද කීවේය.

   “පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවුනේ අවුරුදු තුනකට කලින්. ජනාධිපති කොමිසමේ වාර්තාව ජනතාවට විවෘත කරලා එහි තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට කිව්වා. විනිවිද භාවය වගවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් කරන්න ආණ්ඩුව පොරොන්දු වුණා.ආණ්ඩුවේ වියදම් වලින් සියයට 15 ක් ජාතික ආරක්ෂාවට වැය කරනවා. අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි වියදම් කරන්නේ.

ඒ වගේම සාමකාමී විරෝධතාකරුවන් මර්ධනය කිරීමටත් අත්අඩංගුවට ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. දැනට රට තුළ සිදුවන මෙවැනි දෑ අපි හෙලා දකිනවා. ඒ වගේම මහකොමසාරිස්වරියගේ කැපවීම අපි අගය කරනවා යැයිද ඔහු එහිදී පැවසීය.

රට පත්ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ වැඩි අවධානයක් යොමුව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රටේ මානව හිමිකම් පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, ජනතාවට සිදුව ඇති ආර්ථික අර්බුදය පිළිබඳවත් මානව හිමිකම් කවුන්සලයේ මෙවර වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් ජයවර්ධන මහතා පැවසීය.
මෙවර මානව හිමිකම් සැසිවාරය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් සැසිවාරයක් බැවින් තමන් ඇතුළු නියෝජිත පිරිස සහභාගී වූ බවත් ඔහු තවදුරටත් කීවේය.

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය සඳහා සමගි ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරු එක්ව සිටියහ.


Leave a Reply

Your email address will not be published.