මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ කඩා වසර 4යි – ජනතාවට පීඩා

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළේ ඉදිකිරීමට නියමිතව තිබූ බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඉදිකිරීමට නියමිතව තිබූ එම බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය සඳහා වැය කිරීමට නියමිතව තිබූ සම්පූර්ණ මුදල බිලියන 10කි.

එම බහුමාදිලි මගී පර්යන්තය ඉදිවීමෙන් පසු බස් සහ දුම්රිය ස්ථාන දෙකම එකට යා කෙරෙන අතර, මගීන් ගේ අනිකුත් බොහෝ පහසුකම්ද එම මධ්‍යස්ථානය තුළ ඇතුළත් කිරීමට නියමිතව තිබුණි.

ලෝක බැංකු ආධාර යටතේ 2018 වසරේ එවකට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් එහි වැඩකටයුතු ආරම්භ කළ එම ව්‍යාපෘතිය අද වනවිට අතරමග නවතා දමා තිබේ.

ඉන් වෙළෙඳ ප්‍රජාව මෙන්ම සමස්ත ජනතාවම අසීරුතාවයට පත්ව සිටී.

එහි වැඩ නිමවන තුරු මේ වනවිට මහනුවර නගරයේ විවිධ ස්ථානවල බස්රථ ගාල් කිරීමට සිදුව ඇති අතර, ඉන් ජනතාව පත්ව ඇත්තේ ද දැඩි අපහසුතාවයකටය.

වසර 5කට ආසන්න කාලයක් ගතව තිබුණ ද එහි වැඩ අවසන් නොවීම නිසා එම ස්ථානයේ සිටි වෙළෙඳ ප්‍රජාව පවසා සිටින්නේ පවතින තත්ත්වය තුළ හෝ නැවතත් ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොළ ජනතාවට ලබාදෙන ලෙසය.

මහනුවර නගරයේ විවිධ ස්ථානවල මේ වනවිට බස් නතර කිරීම නිසා මගී ජනතාව ද දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර, ඉදිකිරීම් නවතා දමා ඇති ස්ථානවල විවිධ අපචාර සිද්ධීන් ද වාර්තාවන බවට මගීන් චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published.