දෙසැම්බර් දක්වා ලංකාවට කන්න දෙන්න ඩොලර් මිලියන 63 ක් ඕනෑ.. ඉන් 42ක් හිඟයි…

අද අපේ රට කන්න බොන්න නැති හිඟන්නන්ගේ තත්ත්වයට පත් කළේ වෙන කවුරුවත් නෙමෙයි රාජපක්ෂලා’ යයි සමගි ජන බලවේල පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

මෙතෙක් ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ආවෙ මානව හිමිකම් කඩ කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, නීතියේ ආධිපත්‍යය නැති කිරීම වගේ බොහෝ කරුණු කාරණා , ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස වගේ කාරණා. අද ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපිට විරුද්ධව ඇවිල්ල තියන චෝදනාවක් තමයි ආර්ථික අපරාධ කළා කියලා. මීට පෙර අන්න යුද අපරාධ කළා කියලා චෝදනා ආපු වෙලාවේ මෙන්න අපේ රටේ ස්වෛරී භාවය කෙළෙසන්න හදනවා, මෙන්න අපේ රටේ ඒකීයභාවය කෙළසන්න හදනවා කියල ඉවර වෙලා ගිරිය පුප්පගෙන කෑ ගහපු හැම එක්කෙනාම අද කට වහගෙන ඉන්නවා . මොකද හේතුව මේ යුද අපරාධ එල්ල වෙච්ච රාජපක්ෂලාට ම තමයි මේ රටේ ආර්ථික අපරාධ කරපු චෝදනා ත් එල්ල වෙලා තියෙන්නේ. ආර්ථික අපරාධ වෙද්දි කට වහගෙන ඉන්න තත්වයක් මතුවෙලා තියෙන්නෙ මොකද , අද ලක්ෂ දෙසිය විස්සක් ජනතාව මේ ආර්ථික අර්බුදය හරහා ,මේ ආර්ථික අපරාධය හරහා, ඔවුන් දවසෙන් දවස දුක් විඳිනවා. මේ ලක්ෂ 220 ම මේ අපරාධෙ විඳිනවා. ඔවුන් පෝලිමේ ඉඳගෙන කරුවලේ ඉඳගෙන බඩගින්නේ ඉඳගෙන. අද ආහාර උද්ධමනය 93% දක්වා ඉහළ යෑම රාජපක්ෂලා කරපු ආර්ථික අපරාධයක්. ළමා මන්දපෝෂණය ලංකාව තුළ ඇතිවීම, රාජපක්ෂලා කරපු ආර්ථික අපරාධයක්.

අපි ආසියානු කුසලානය ජයග්‍රහණය කරද්දී ආසියාවේ ළමා මන්දපෝෂණය දෙවැනි ස්ථානයට මේ රට පත්කලේ ආර්ථික අපරාධ කරපු රාජපක්ෂලා කියලා පැහැදිලියි.ඇෆ්ගනිස්තානයට පමණක් දෙවැනිව ළමා මන්දපෝෂණයෙන් දෙවෙනියට ආවහම ආසියානු කුසලාන ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද? අපට තව අවුරුදු දහයක් යනකොට ආසියාවේ දැල්පන්දු ශූරයන් වෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඒ වගේම අද දරුවන්ට ත්‍රිපෝෂ නැති ත්ත්වයක් ඇති කරලා. ඒ ආර්ථික අපරාධය කලෙත් රාජපක්ෂලා. ඊළඟට මේ රටේ 50% ට වේල් දෙකක් පමණක් කන තත්ත්වයට අපේ රටේ ආර්ථිකයට අපරාධ කළේ රාජපක්ෂලා.විශේෂයෙන්ම ලෝක ආහාර සංවිධානය ප්‍රකාශ කරන පරිදි අපේ රටේ ජනගහනයෙන් මිලියන 6.3 කට ( ලක්ෂ 63) ආහාර සුරක්ෂිතතාවයක් නැහැ.

තවත් ලක්ෂ 67කට ඔවුන් ගන්නා ආහාර පිළිගත් සෞඛ්‍ය ක්‍රමවේද අනුව පෝෂදායි මට්ටමේ නැහැ කියලා ඔවුන් දන්වලා තියෙනවා. මේවා මේ සමග ජන බලවේගය වත් මම වත් කියන දේවල් නෙමෙයි.

අද අපේ රට කන්න බොන්න නැති හිඟන්නන්ගේ තත්ත්වයට පත් කළේ වෙන කවුරුවත් නෙමෙයි රාජපක්ෂලා.දැන් ලෝක ආහාර සංවිධානය ට ඔක්තෝබර් මස සිට දෙසැම්බර් දක්වා ලංකාවේ ජනතාවට කන්න දෙන්න ඩොලර් මිලියන 63 ක් ඕනෑ . එම ඩොලර් මිලියන 63 න් 42ක හිඟයක් තියෙනවා ලංකාවේ කන්න නැති මිනිස්සුන්ට කන්න දෙන්න අරමුදල හොයා ගන්න. එතකොට මේ තත්වයට ආර්ථික අපරාධය කළේ කවුද? රාජපක්ෂලා . ඒ කොහොමද 2015 ට කලින් ඩොලර්වලින් ණය අරගෙන ආදායම් නැති දේවල් කරලා , hambantota සම්මන්ත්‍රණ ශාලා සූරියවැව ක්‍ර්‍රීඩාංගණ , නෙළුම් කුළුණ මත්තල ගුවන්තොටුපල වගේ දේවල් කරලා, කොමිස් ඩොලර්වලින් මාටියා ගහලා, ඒ වගේ තත්ත්වයක් තුළ මේ ආර්ථිකය පුපුරා යන්න ඉඩ ඇරලා, ආර්ථික අපරාධ කළේ.

ඊළඟට අපි දැක්කා USAID එකේ සැමන්ටා පවර් මහත්මිය එතුමියගේ සංචාරයෙන් පස්සේ කිව්වේ මොකක්ද? ලංකාවේ ආර්ථික අපරාධයට ප්‍රධානම හේතුව තමයි නාස්තිය සහ අධික ණය බර. එතකොට මේ සියල්ල කලේ කවුද? රාජපක්ෂලා . එක්සත් ජාතික සංවිධානය තුළ ආර්ථික අපරාධ කළා කියලා චෝදනා ලබපු රාජපක්ෂලා ආරක්ෂා කරමින් ජනාධිපතිවරයා ඔවුන්ගේ රැකවලා බවට පත් වෙලා ඉන්නවා.

යුද්ධ අපරාධ කරා කියලා කෑ ගහපු අය දැන් කට වහගෙන ඉන්නවා. ඇත්තටම ජනාධිපතිතුමා ජනතාවගේ ජනාධිපතිවරයා නම් මේ රටේ පුරවැසියන්ගේ ජනාධිපතිවරයා නම් , මේ රටේ පුරවැසියන්ගේ බඩගින්න, දරුවන්ගේ ළමා මන්දපෝෂණය , ගැබිනි මව්වරුන්ගේ ආහාර නැති වීම ,ඒ වගේම ග්‍රාමීය සහ නාගරික ජනතාවගේ ආහාර සුරක්ෂිතභාවය නැති වීම පිළිබඳ විවිධ කමිටු දානවා වෙනුවට, මේ ආර්ථික අපරාධ කරපු අයව අල්ලා දඬුවම් දෙන්න කියලා අපි පැහැදිලිව කියන්න කැමතියි .

අපිට ආරංචි විදියට ලංකාවෙ ආර්ථිකය ගැන අවසාන තීන්දු තීරණ ගන්නා තැනක් තමයි ලංකාවේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය. මේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට final directive එකක් දෙන්න පුළුවන් එකම පුද්ගලයා ,පනත අනුව මුදල් අමාත්‍යවරයා. දැන් ගෝඨාභය රාජපක්ෂගේ කාලෙදි ඒ මුදල් අමාත්‍යවරයා ඉක්මවමින්, පී බී ජයසුන්දර කියන ආර්ථික ඝාතකයා මූල්‍ය මණ්ඩලයට සෘජු උපදෙස් භාණ්ඩ ආනයනය අපනයනය සම්බන්ධවත්, ඩොලරයේ අගය සම්බන්ධවත් ලබා දීලා තියෙනවා. එතකොට මේ අය වගකියන්න ඕන. මේ අයට දඬුවම් දෙනවද කියලා ජනාධිපති තුමාගෙන් අපි අහන්න කැමති.

පහුගිය කාලේ විශේෂයෙන්ම මගේ ඉල්ලීමකට , ලිට්රෝ ගෑස් ලක්ෂයක් spot buying වලින් oman trading සමාගම හරහා ගන්න හදනකොට කෝප් කමිටුවට ඔවුන් කැඳෙව්වා. එතකොට ඔවුන් විශේෂයෙන්ම ඔවුන් කරුණු පැහැදිලි කලා ඩොලර්129 + CP එකට ගන්නේ ඇයි කියන එකට. ඔවුන් විවිධ හේතු දුන්නා. හදිසි මිලදී ගැනීම් , ජනතාව පෝලිමේ ඉන්නවා ඒ පෝලිම් නැති කරන්න ඕන කියලා කිව්වා.අපි හොඳාකාරවම දන්නවා ඊට වඩා අඩු මුදලකට ගන්න ඕනෑ තරම් අවස්ථා තියෙද්දී තමයි මේක ගත්තෙ කියලා . අපි පෙන්නලා දුන්නා රුපියල් මිලියන 1200 කට අධික මුදල් ප්‍රමාණයක් මේකට යනවා.මේක වලක්ව ගන්න බැරි ඇයි කියන එක.නමුත් ඔවුන් සූක්ෂමව කරුණු දක්වන්න උත්සාහ කළා . ජනතාව පෝලිම් වල ඉන්නවා පෝලිම නැති කරන්න ඕන.ජනතාවගේ consumption එකට හරියන්න ඔක්තෝම්බර් මාසය දක්වා ලක්ෂයක් ගෙන්නනවා කියලා. අපිට ආරංචි දැන් ඒ ලක්ෂෙ ගෙනාවේ ලෝක බැංකුවෙන් හම්බවෙච්ච ඩොලර් මිලියන 70 කුත් ලංකාවේ ආණ්ඩුවෙන් දාපු ඩොලර් මිලියන 20 කුත් එක්ක. ඒක අපි පැත්තකින් තියමුකෝ මුදල් නාස්තිය උනාද මොකද වුණේ කියන එක. දැන් තව අලුත් දෙයක් වෙමින් පවතිනවා. අපි මේ රටේ මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරනවා .අර්බුදය කළමනාකරණය කිරීමේ මුවාවෙන් සිදුවන වංචා දූෂණ තමුන්නාන්සේලා හෙළිදරව් කරන්න.මාධ්‍යවේදීන් වෙන තමුන්නාන්සේලාත් මේකෙ කොටස්කාරයෝ වෙනවා. ගෑස් මිල වැඩි වුනොත් හෝ වංචාව දූෂණය වැඩි වුනොත් හෝ ඒකෙ ප්‍රතිඵල තමුන්නාන්සේලා මේ කැමරාව තියාගෙන පෑන තියාගෙන කොම්පියුටරය ගාව ඉඳගෙන වැඩ කරලා මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් ගෙවන්න වෙනවා. ඒ නිසා මේවා එළි කරන්න.

මේ වෙනකොට අන කොට අපි දන්න තරමට මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දාහක් ගන්න ලිට්රෝ සමාගම ටෙන්ඩර් එකක් දාලා තියෙනවා. එතකොට මේ ටෙන්ඩර් එක දාලා දැන් ඒක රබර් වගේ ඇදීගෙන යනවා. මේ ටෙන්ඩර් එකට කිහිප පොලක් අයදුම් කරලා තියෙනවා. එතකොට මේ ටෙන්ඩර් එක සම්බන්ධව තාමත් තීන්දුවක් නො ගන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. මට හිතෙන ආකාරයට මේ ටෙන්ඩර් එක මේගොල්ලෝ අහෝසි කරනවා . මොකක් හරි තාක්ෂණික කාරණාවක් දාලා මේ ටෙන්ඩර් එක අහෝසි කරනවා. එතකොට ඔක්තෝම්බර් මාසෙන් පස්සේ ටෙන්ඩර් එකක් නැහැ.එතකොට නැවත පෝලිමක් ඇති වෙනවා නොවැම්බර් මාසෙදි . එතකොට හදිසි අවශ්‍යතාවයක් කියලා spot buying එකකට යාවි. ඒ වගේ වෙලාවක අනිවාර්යෙන් වැඩි මුදලට ගන්න වෙයි. Spot buying එකකදි වැඩි මුදලකට ගන්න වෙන්නෙ කොහොමද? එතකොට සියලු සැපයුම්කරුවන්ට දෙන්න බැහැ. එතකොට ලංකාවේ මුහුදු සීමාවේ විශාල නැව් තියාගෙන ඒ නැව් වල ස්ටොක් එක තියාගෙන ලංකාවේ බෝයාවට එන්න පුළුවන් පොඩි නැව් තියාගෙන ඉන්නාවූ සමාගම් වලට තමයි ගන්න වෙන්නේ. එතකොට ඔවුන් කියන කොන්දේසිවලට එකඟ වෙලා වැඩි මුදලකට තමයි ගන්න වෙන්නේ. ඒ නිසා මේ දැනට ඉදිරිපත් වෙලා තියන ටෙන්ඩරය කිසියම් හෝ සමාගමකට ලාභදායී මුදලකට කවුරුන් හරි අඩු ලංසුකරුවෙකුට පිරිනමලා , මේ පිළිබඳව කල් වේලා ඇතුව දැනුම්දීම් කරලා, වැඩ කලේ නැත්නම් අනිවාර්යයෙන්ම නොවැම්බර් මාසය වෙද්දී spot buying වලට යන්න වේවි. අපි දැන් සැප්තැම්බර් වල මැද භාගයේ ඉන්නේ.ටෙන්ඩරය ප්‍රදානය කරලා, ඒ සමාගම ඒවට ලැහැස්ති වෙලා , ඒ සඳහා අවශ්‍ය නැව් පහසුකම් ගබඩා පහසුකම් සලසාගන්න කාලයක් දෙන්න ඕන. දැනට ඕඩර් කරලා තියෙන ලක්ෂෙ න්, 30000 ක් විතර තමයි එන්න තියෙන්නෙ ඔක්තෝම්බර් මස ට. සාමාන්‍යයෙන් මාසයකට තිස් දාහක් තිස් පන්දාහක් අතර ප්‍රමාණයක් ඕන. සැප්තැම්බර් මාසේ මේක ඉවර වෙන කාලය වෙනකොට මේ ටෙන්ඩරය ප්‍රදානය කරල කවුරුහරි සූදානම් වෙලා හිටියේ නැත්නම් ගෑස් ඌනතාවයක් නැවත නිර්මාණය වෙනවා. එතකොට පෝලිමක් නිර්මාණය වෙනවා. එතකොට මේ පෝලිම ඉවර කිරීම සඳහා තමයි හදිසි මිලදී ගැනීම් වලට යන්නේ. මේ ප්‍රෝඩාවක් කරගෙන යන්නේ. මේ ප්‍රෝඩාව පිලිබඳ විමර්ශනාත්මක මාධ්‍ය වාර්තාකරණයක් කරන්න . අරයා කියන එක මෙයා කියන එක අහගෙන දාන්නේ නැතුව . මං තොරතුරක් දුන්න මේක හොයාගෙන තමුන්නාන්සේලා කරන්න. තමුන්නාන්සේලාට බැරිනම් බදාදා ට මම පාර්ලිමේන්තුවේ දී ඊළඟ මගඩිය කරන්න යන්නේ කොහොමද කියලා විස්තරාත්මකව හෙළි කරන්න සූදානම්. අර්බුදය විසඳන්න ඕන, අර්බුදය විසඳීමේ මුවාවෙන් අර්බුද කළමනාකරණය කිරීම මුවාවෙන් කරන්නාවූ දූෂණයන් , රට මෙච්චර වැටිලා තියෙන වෙලාවක කරනවා කියන්නේ ජාතික අපරාධයක්. මේ අපරාධකරුවන්ට එරෙහිව මේ රටේ ජනතාව නැගී සිටින්න ඕන කියන එක කියන්න කැමතියි .

Leave a Reply

Your email address will not be published.