තවත් එක ජයග්‍රහණයක් අපට ලබාදෙන්න – ජනපති

ආසියානු කුසලානය දිනාගැනීම හරහා දසුන් ශානක ලංකාවටම ලබාදුන්නේ විශාල ආදර්ශයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආසියානු ක්‍රිකට්, දැල්පන්දු සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඟයීමේ උත්සවට ඊයේ (16) එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“නෙල්බෝල් කණ්ඩායම යළිත් ආසියානු ශූරතාව අපට ලබාදුන්නා. කාන්තාවන් වැඩේට බැස්සොත් හරියට කරනවා ලංකාවේ. ඒ අයට ස්තූති කරනවා.” 

“අඩුපාඩුකම් මට ආරංචි වුණා. ආයෙත් එහෙම නොවෙන්න වගබලා ගන්නවා. ක්‍රීඩාවක් සංවර්ධනය කරන්න සම්පූර්ණයෙන්ම කැපවෙන්න ඕන.” 

“ක්‍රිකට් කණ්ඩායමටත් ස්තූතිවන්ත වෙනවා. ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය දිහා බැලුවාම ඒක අපිට ඕන වුණ ජයග්‍රහණයක්. තවත් එක ජයග්‍රහණයක් ලබා දුන්නොත් අපිට තවත් සතුටුයි.” 

“මලල ක්‍රීඩා අංශයෙනුත් සිව්දෙනෙකුත් ජයගත්තා. හැමෝටම ස්තූතිවන්ත වෙනවා.” 

“අපි ක්‍රිකට්වලදී ඇෆ්ගනිස්තානයට පරාද වුණා. ඒත් අපි ක්‍රීඩාවෙන් ඉවත් වුණේ නැහැ.” 

“දසුන් ඒ පරාජයෙන් ප්‍රයෝජන ගත්තා ශක්තිමත් වෙන්න. දසුන් ලංකාවටම උදාහරණයක් දුන්නේ. අපි අද ඇෆ්ගනිස්තානයටත් වඩා වැටිලා ඉන්නේ. සමහරු හිතනවා අපිට ගොඩඑන්න බැහැ කියලා.” 

“දසුන් වගේ අපි හිතනවා නම්..මමත් හිතන්නේ අපි ගොඩ එනවා. අපි ලෝක ශූරයෝ වෙනවා. රට කිසිම බයක් නැතුව ලෝකය එක්ක තරග කරන්න දැනගන්න ඕනේ.” 

“අපි පුරුදු වෙලා තියෙන්නේ ලෝකේ එක්ක තරග කරන්න නෙමෙයි.. ලෝකෙ තියෙන නීති අපේ වාසියට වෙනස් කරන්න. ඒක සිදුවෙන්නේ නැහැ.” 

“ඉස්සර ජයග්‍රහණයෙන් කොටසක් දේශපාලනඥයින් ලබාගත්තා. මෙවර සියයට දෙසීයක්ම ජයග්‍රහණය ඔබට ලබාදෙනවා.”

මෙම උත්සවයේදී ජයග්‍රාහී දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පිරිනැමීය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රීදි පදක්කම් ලාභියෙකුට රුපියල් මිලියන 10ක් ද ලෝකඩ පදක්කම් ලාභියෙකුට රුපියල් මිලියන 5ක් ද ක්‍රීඩා අරමුදලෙන් ලබාදී තිබේ.

එමෙන්ම දැඩි ඖෂධ හිඟයකට මුහුණ පා සිටින මහරගම අපේක්ෂා රෝහලට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබාදෙන අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක චෙක්පත එහිදී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදී තිබුණි.

Leave a Reply

Your email address will not be published.