ජපානයේ මිලියන 3ක් ආරක්ෂිත ස්ථාන වෙත

ප්‍රබල සුළි කුණාටු තත්ත්වයක් සම්බන්ධයෙන් ජපානයේ දකුණු කියුෂු ප්‍රාන්තයේ කගොෂිමා කලාපය සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
    
එරට කාලගුණවිද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, අධික සුළං, කුණාටු සහ වර්ෂාපතනය හේතුවෙන් කලාපය දරුණු අනතුරකට ලක්විය හැකි බවය.

සුළි කුණාටුවේ බලපෑමෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ අවධානමක් ද පවතින බව එරට කාලගුණ අංශ පෙන්වා දෙයි.

කියුෂු හි පදිංචිකරුවන් මිලියන 2.9ක පමණ පිරිසකට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මේ වනවිට පුද්ගලයින් 8,500කට අධික පිරිසක් ඉවත් කරගෙන ඇති බව එරට රජය සඳහන් කළේය.

අද උදෑසන වනවිට කගොෂිමා සහ අසල්වැසි මියාසාකිහි නිවාස 25,000ක පමණ විදුලිය විසන්ධි වී ඇති  බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම කලාපයේ ප්‍රාදේශීය දුම්රිය සේවා, ගුවන් ගමන් සහ තොටුපොළවල් කුණාටුව පහව යන තෙක් අවලංගු කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.