එක්ස්ප්‍රස් පර්ල් පරීක්ෂණ අවසන් අදියර ට

කොළඹ වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව නීතිපතිවරයා අද (21) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුනි.

ඒ, මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්ත අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවය.

එම පරීක්ෂණ කටයුතු අවසන් කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉල්ලීම සලකාබැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නඩු කටයුත්ත ලබන නොවැම්බර් මස 23 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

එදින මෙම සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙසත් විනිසුරුවරයා විසින් රජයේ නීතිඥවරයාට නියෝග කර සිටියේය.

මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස ගිනිගත් නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා, නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් 04දෙනා නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.