වේයන්ගොඩ කම්පා කරවූ අමානුෂික ඝාතනය

වේයන්ගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් අමානුෂික ලෙස පහරදී දෙදරු මවක් ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවන වේයන්ගොඩ, හෑපනාකන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

අදාළ ඝාතනය සිදුකර ඇත්තේ මියගිය කාන්තාව වසර 20කට පමණ පෙර ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති පුද්ගලයෙකි.

ඝාතකයා සහ මියගිය කාන්තාවගේ ප්‍රේම සම්බන්ධතාවය මීට වසර ගණනාවකට ඉහතදී අවසන්ව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව අදාළ කාන්තාව වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ වී තිබේ.

එම විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් වයස අවුරුදු 11 සහ 09 හැවිරිදි වියේ පසුවෙයි.

මියගිය කාන්තාව වතුපිටිවල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවයේ නිරතව සිට ඇත.

අදාළ ඝාතනය සිදුකර ඇති බවට සැක ඔහුගේ පැරණි පෙම්වතා කලකට පසුව නැවත විවිධ යෝජනා කරමින් අදාළ කාන්තාවට විවිධ හිරිහැර කර ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් අදාළ යෝජනාවන් එම කාන්තාව විසින් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගැනීමත් සමඟ ඔහු කලක පටන් එම කාන්තාව සමඟ වෛරයෙන් සිට ඇත.

අනතුරුව අදාළ කාන්තාව සේවය නිම කර නිවස බලා යමින් සිටියදී බීමතින් පැමිණ මාර්ගයේ සැඟව සිට රබර් කැපීමට යොදා ගන්නා පිහියක් භාවිත කර එම කාන්තාවට අමානුෂික ලෙස පහරදී තිබේ.

පසුව බරපතළ තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම කැලෑබද ප්‍රදේශයක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මස 04 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Leave a Reply

Your email address will not be published.