අනියම් පෙමට බෑ කියූ ඇඟලුම් සේවිකාව පිහි පහරින් මරුට

අනියම් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීමට කරන ලද යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව කියන තිස්හත් හැවිරිදි දෙදරු මවක් වන ඇඟලුම් සේවිකාවකට ඉතා අමානුෂික ලෙස පිහියකින් ඇන ඝාතනය කොට පයිනස් වත්තක සැඟ වී සිටි හතළිස් හත් හැවිරිදි සැකකරු ඊයේ 22 පාන්දර අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලිසිය පවසයි.

එසේ ඝාතනය කොට ඇත්තේ අලවල හෑපනාකන්ද පදිංචිව සිටි ඇන්. එච්. ආර්. ශ්‍යාමලී නැමැති ඇඟලුම් සේවිකාවකි.

වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් සේවිකාවක් වන ඇය පෙරේදා 21 පස්වරු 07 ට පමණ සේවය නිමා කොට බස් රථයකින් පැමිණ සිය නිවසට යාම සඳහා වනගත ප්‍රදේශයක පා ගමනින් යමින් සිටියදී මඟ රැක සිටි සැකකාර ඝාතකයා ඇයට පිහි පහරවල් පහක් පමණ එල්ල කොට පලාගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි ඇය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටියදී පෙරේදා 21 රාත්‍රියේම මිය ගොස් තිබිණ.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යද්දී ලද තොරතුරකට අනුව අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ 22 පාන්දර 05ට පමණ හෑපනාකන්ද ප්‍රදේශයේ පිහිටි පයිනස් වත්තක් වටලා කරන ලද සෝදිසි මෙහෙයුමකදී එහි සැඟවී සිටි සැකකාර ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබිණ.

ඇඟලුම් සේවිකාව විවාහක දෙදරු මවක් බවත් හතළිස් හත්හැවිරිදි අවිවාහකයකු වන සැකකාර ඝාතකයා ඇයට කිහිප අවස්ථාවකම අනියම් සම්බන්ධයක් පැවැත්වීමට කරන ලද යෝජනාවක් ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඝාතනය සිදු කොට ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

සැකකාර ඝාතකයා ද අලවල හෑපනාකන්ද ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් වනගත ප්‍රදේශයේ මඟ රැක සිට පිහි ප්‍රහාරය එල්ල කොට ඇති බවද පොලිසිය කීය.

ඝාතනයට යොදා ගත් බව කියන පිහියක් ද පොලිසිය සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ හා ගම්පහ සහකාර පොලිස් අධිකාරී 05 උපාලි කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක ධර්මසිරි, පොලිස් සැරයන් කිත්සිරි (9332), පොලිස් කොස්තාපල්වරුන් වන රාජපක්ෂ (12015), පොතුපිටිය (97432) හා පොලිස් සැරයන් රියදුරු බණ්ඩාර (34568) යන මහත්වරු ඝාතකයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published.