දුම්රියේ කෝටි 260ක ආදායමෙන් කෝටි 230ක්ම OT ගෙවලා

පසුගිය වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි දෙසිය හැටක ආදායමින් රුපියල් කෝටි දෙසිය තිහක් සේවක අතිකාල වශයෙන් ගෙවා තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර් ලිමේන්තුවෙදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක වැටුප් සඳහා එම වසරේදී රුපියල් කෝටි හත්සියයක් වැය කර ඇති බවත් දුම්රිය ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට සිදුවූ බවත් ඇමැතිවරයා පැවසීය.

ඇමැතිවරයා මේ බව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන දෙකයි දශම හයයි. සේවක අතිකාල සඳහා පමණක් රුපියල් බිලියන දෙකයි දශම තුනයි. වැටුප් සඳහා බිලියන හතයි. මේ ආකාරයට ආයතනයක් පවත්වගෙන යන්න පුළුවන්ද? කරන්න බැහැ. ඒ නිසයි ගාස්තු වැඩි කරන්න කටයුතු කළේ. ආදායමට සරිලන ලෙස වියදම කළමනාකරණය නොකළොත් ඛේදවාචකයක් වෙනවා. රජයේ සමස්ත බදු ආදායමෙන් සියයට අසූහයක් සේවක වැටුප් වශයෙන් ගෙවන එකම රට ශ්‍රී ලංකාවයි.

Leave a Reply

Your email address will not be published.