ලෝක කුසලානයට ඔන්න මෙන්න තිබියදී වෙනස් වෙන ක්‍රිකට් නීති

ක්‍රිකට් පිටියේ අලුත්වන නීති එළඹෙන ඔක්තෝබර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

මෙම නව නීති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළට එකතු කිරීමට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී තීරණය කර තිබුණි.

ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද මෙම නව නීති යටතේ පැවැත්වෙයි.

එහිදී ඉදිරිපත් කර ඇති එක් නීතියක් වන්නේ පිතිකරුවෙකු උඩපන්දුවක් ලබා දී දැවී යන අවස්ථාවකදී එම පන්දුවාරය නිම නොවේ නම් නව පිතිකරුවා ඊළඟ පන්දුව සඳහා පහරදීමය.

මීට පෙර එම නීතිය පැවතියේ උඩපන්දුවක් ලබාදී පිතිකරු දැවී යන අවස්ථාවේදී උඩපන්දුව රැකගන්නා අවස්ථාව වනවිට පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා පැතිමාරු කරගැනීමේදී එකිනෙකා පසුකර ඇත්නම් නව පිතිකරු වෙනුවට පිටියේ රැඳී සිටි අනෙක් පිතිකරු පන්දුවට පහරදීම සිදුකළයුතු බවටය.

මේ අතර පන්දු යවන්නා විසින් යොමුකරන ඕනෑම පන්දුවක් තණතීරුවෙන් ඉවතට යන අවස්ථාවක එය නිපන්දුවක් ලෙස හැඳින්වීමටද නව නීති තුළින් කටයුතු කර තිබේ.

එසේම ක්‍රිකට් පිටියේ අතිශය දුර්ලභ අවස්ථාවක් වන පන්දු යවන්නා පන්දුව යොමුකිරීමට පෙර පිතිකරු දුවද්දී දවාගැනීමට හසුකරගැනීම සඳහා ඔහු දෙසට පන්දුව දමා ගැසීමක් සිදුකළහොත් එම අවස්ථාව මීට පෙර නිපන්දුවක් ලෙස හැඳින්වූ අතර එය ඉදිරියේදී නව නීතියට අනුව එය අජීවී පන්දුවක් ලෙස නම්කරනු ලැබෙයි.

මේ අතර මන්කාඩ් ක්‍රමයට දවාගැනීම මීට පෙර අසාධාරණ ක්‍රමයක් ලෙස හැඳින්වූ අතර එය නව නීතියට අනුව දුවද්දී දවාගැනීමක් ලෙස හඳුන්වා ඇත.

එසේම පන්දු යවන්නෙකු පන්දු යැවීමට දිව යන අවස්ථාවේදී එම කණ්ඩායමේ වෙනත් පන්දු රකින ක්‍රීඩකයෙකු පිටියේ ස්ථාන මාරු කරමින් චලනයක් සිදුකරයි නම් ඊට අදාළ පන්දුව අජීවී පන්දුවක් ලෙස නම්කිරීමට නව නීති ඔස්සේ බලය පැවරීමක් සිදුකර තිබේ.

ඊට අමතරව එවැනි චලනයක් සිදුකරන අවස්ථාවකදී පිතිකරණයේ නිරතවන කණ්ඩායමට ලකුණු 5ක් ලබාදීමට ද පියවර ගෙන ඇත.

මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් තාවකාලිකව තහනම් කර තිබුණු “පන්දුවේ ඛේටය තැවරීම” තවදුරටත් තහනම් කිරීමට මෙම නව නීති ඔස්සේ පියවර ගෙන තිබේ.

එසේම මින් ඉදිරියට තරගයක් තුළ ක‍්‍රීඩක ආදේශකයක් සිදු වූ විට එම ආදේශ කරන ක‍්‍රීඩකයා හට අනෙක් ක‍්‍රීඩකයා සිදු කර ඇති දවා ගැනීම් සහ වැරදි අයත් වන අයුරින් නව නීති සකස් කර ඇත.

එසේම නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමුකරන පන්දුව අජීවී පන්දුවක් බවට පත්කිරීමට නව නීති යටතේ තීරණය කර තිබේ.

එක්දින සහ ටෙස්ට් පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසෙන පිතිකරුට පන්දුවට පහරදීම සඳහා සූදානම් වීම සඳහා ලබා දී තිබූ කාලය මිනිත්තු දෙකක් දක්වා අඩුකිරීමට පියවර ගෙන ඇත.

එසේ නොවන අවස්ථාවන්හිදී ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාට අදාළ පිතිකරුට එරෙහිව කල් ඉකුත්වීමේ අභියාචනය විනිසුරු වෙත ඉදිරිපත්කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

මීට පෙර එම කාලය මිනිත්තු තුනක් ලෙස පැවතිණි.

කෙසේ වෙතත් විස්සයි විස්ස තරගවලදී පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසෙන පිතිකරුට පන්දුවට පහරදීම සඳහා සූදානම් වීම සඳහා ලබා දී ඇති තත්පර 90ක කාලය නොවෙනස්ව පවතී.

Leave a Reply

Your email address will not be published.