උ/පෙළ දෙසැම්බර් 5 දා ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස පස් වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස්වරයා විසින් දැනුම් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විභාගය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නැති බව මවුපියන් පෙන්වා දෙන හෙයින් විභාග කල් දමන්නේ දැයි මෙහිදී නැවතත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේශම්කාරි විය යුතු බව සඳහන් කළ ඇමැතිවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ දරුවන්ගේ ජීවිතයට බලපාන බව පෙන්වා දුන්නේය.

මෙරට සහ විදේශ රටවල විශ්වවිද්‍යාල සහ අනෙකුත් පාඨමාලා නිසි කාල සීමාවල ආරම්භ කෙරෙන හෙයින් විභාගය කල් දැමීම මඟින් දරුවන්ට බලපෑම් වන බවද ඇමැතිවරයා කීවේය.

මේ නිසා අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉල්ලීම් අනුව තීරණ ගැනීමට නොහැකි බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published.