ගල් අඟුරු අවුල  – නොරොච්චෝලේ හුස්ම ඉල්ලයි

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට නව ටෙන්ඩරයකින් ගල්අඟුරු සපයා ගන්නා තෙක් අඛණ්ඩව ගල්අඟුරු සපයා ගැනීමට ඇමරිකන් ඩොලර් මිලියන 100ක් සොයා ගැනීම ගැටලුවක් වී තිබේ.

බලාගාරයට ගල්අඟුරු ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා අනුමැතිය හිමිව තිබූ රුසියානු සමාගම ගල්අඟුරු සැපයීම කළ නොහැකි බවට දැනුම්දීම නිසා බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීම අර්බුදයක් වී තිබේ. ගල්අඟුරු සැපයීමට ඉදිරිපත් වූ සමාගම ගල්අඟුරු සපයා මාස 06කට පසු මුදල් ගෙවීමට සහන කාලයක් ලබාදී තිබිණි. එම සමාගමට එරෙහිව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අධිකරණයට යෑම නිසා ගල්අඟුරු සැපයීමෙන් ඉවත් වන බව එම සමාගම බලාගාර පාලනාධිකාරියට දැනුම් දී තිබේ.

බලාගාරයට අවශ්‍ය ගල් ඟුරු ලබන මස මැද පමණ වන තෙක් පවතින අතර අඛණ්ඩව බලාගාරය පවත්වාගෙන යෑමට නම් මේ වනවිට ගල්අඟුරු ඇනවුම් කර තිබීම කළ යුතුව ඇත. ගල්අඟුරු නැවක් මෙරටට පැමිණීමට දින 40ක් පමණ ගතවන බවත් එම නිසා ගල්අඟුරු ගෙන්වා ගැනීමට මේ වනවිට ඇනවුම් ලබාදිය යුතු බවත් බලාගාර සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ මහතා පැවසීය.

කෙසේ වෙතත් බලාගාරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නම් පසුගිය වසරේ කැඳවා තිබෙන ටෙන්ඩරයට අනුව තවත් ගල්අඟුරු නැව් 21ක් පමණ ලබාගත හැකි බවත්, එයින් නැව් 05ක් ගෙන්වා ගතහොත් බලාගාරය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන යා හැකි බවත් හේවගේ මහතා කීය. ඒ සඳහා ඩොලර් මිලියන 100ක් පමණ වැයවන බවද ඔහු කීය.

බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නිසි වේලාවට ගෙන්වා නොගත හොත් දෛනික පැය 10-12ක විදුලි කප්පාදුවකට යෑමට සිදුවිය හැකි බවද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published.