සංචාරක වීසා මගින් කතුන් ඩුබායි රැකියා සඳහා යැවු වංචනිකයින් සොයා විමර්ශන

සංචාරක වීසා මාර්ගයෙන් ඩුබායි රැකියා සඳහා කාන්තාවන් පිටත් කළ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විමර්ශන ආරම්භ කරයි. 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් අදාළ විමර්ශන ආරම්භ කර තිබේ. 

වර්තමානයේ රට තුළ පවතින තත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමට උනන්දුවක් දක්වයි. ඒ හේතුවෙන් ඉහත රටවල රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල දැන්වීම් පළකරමින් මුදල් ලබාගන්නා වංචාකරුවන් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබෙන පැමිණිලි දිනෙන් දිනම ඉහළ ගොස් තිබේ.

විදේශ රැකියාවක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට, විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ නීත්‍යානුකූල බලපත්‍රයක් හිමි ආයතනයක්ද, අදාල රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී තිබේද යන්න සොයා බලන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. 

කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියෙන් හෝ කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් මහජනතාවට රැකියා නියෝජිතායතනවල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු දැනගත හැකිය.

විදේශ රැකියා වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඔවුන් පිළිබඳව තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

විශේෂ විමර්ශන අංශය- දුරකථන අංකය    0112864241

                                    ෆැක්ස් අංකය    0112864118

                                    ඊමේල් ලිපිනය      mgr_invest@slbfe.lk

Leave a Reply

Your email address will not be published.