චීනය සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා ඇරඹේ

චීනය සමග පවතින මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

StratNews Global  සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කටයුතු ඉහළ තලයකට ගෙනඒම නුදුරේදීම සිදුවනු ඇති බවය.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය මුදලක් ලබාගැනීම සඳහා ඇතිකරගත් කාර්යමණ්ඩල එකඟතාවට අදාළ පූර්ව පියවර මේ වනවිට රට තුළ ක්‍රියාත්මක බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

ජනාධිපතිවරයා StratNews Global සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහතින්,

නිතින් ගෝක්ලේ – StratNews Global

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය කුමන ආකාරයෙන්ද දැන් පවතින්නේ ? මෙම ගැටලුවලට විසඳුම් ලෙස ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ මොනවාද? 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළා. ඔවුන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට ද පැමිණියා. නමුත් අප දැන් අපේ ණයහිමියන් සමග එකඟතාවයකට පැමිණිය යුතුයි. අප එය කලින් සිදුකළ යුතුව තිබුණේ නැහැ. අපට මේ තරම් බරපතළ අර්බුදයක් පැවතුණේ නැහැ. නමුත් දැන් ණය ගෙවීමට නොහැකි නිසා අප ණයහිමියන් සමග කටයුතු කළයුතු වෙනවා. ණයහිමියන් සමග අප අවසාන වශයෙන් එකඟතාවකට පැමිණි පසු නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යායුතු වනවා. ඔබ ඇසූ පරිදි අප කවර තත්ත්වයක සිටිනවාද යන්න කිවහැක්කේ මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල එකඟතාවට අදාළ ඇතැම් පූර්ව පියවර ක්‍රියාත්මක කරමින් සිටින බවයි. එමෙන්ම අපි ද්වීපාර්ශ්වික ණයහිමියන් සමග සාකච්ඡා ආරම්භකර තිබෙනවා. එය නිමා වූ පසු අපි පුද්ගලික ණය හිමියන් සමග සාකච්ඡා කළ යුතු වෙනවා. ජපාන රජය සමග ඔවුන්ගේ භූමිකාව පිළිබඳව සාකච්ඡා කිරීමට මම ජපානයට යනවා. ඔවුන් ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භකර තිබෙනවා. පහළ මට්ටමින් අප දැන් චීනය සමග සාකච්ඡා ආරම්භ කරනු ලැබුවා. අප එය ඉහළ මට්ටමට ගෙන යා යුතුයි. 

නිතින් ගෝක්ලේ – StratNews Global

පසුගිය සමයේ සිදුවූ විරෝධතා පිළිබඳව ඔබ දැඩි ලෙස කටයුතු කළා. නීතිය අතට ගත් අයට දඬුවම් කළ යුතු බවද ඔබ පැවසුවා. ඒක සාමාන්‍ය වැසියන්ගේ කනස්සල්ලට හේතුවෙලා තියෙනවද? නැත්නම් ඔවුන් එයට එකඟද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

රට වෙනුවෙන් ඔවුන් එයට එකඟ වුණා. මොකද වැඩි පිරිසකට අවශ්‍ය වුණේ නීතිය හා සාමය පවත්වාගෙන යන්න. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව අත්පත් කරගැනීමට උත්සාහ කරද්දී , ඔබේ රටේ පාර්ලිමේන්තුව අත්පත් කරගන්න උත්සාහ කරද්දී නිහඬව සිටිනවාද? අපට එය බලාසිටිය නොහැකියි. මේ විප්ලවකාරී කණ්ඩායම්වලට සම්බන්ධ වුණු සිවිල් සමාජයේ සමහර සමාජ ක්‍රියාකාරීන් ඉන්නවා. එයාලා හිතුවේ රජය බිඳවැටෙන්න යනවා කියලා. තමන්ට එහිදී කවර භූමිකාවක් හිමිවේදැයි ඔවුන් කල්පනා කළා. මම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේ නැත්නම් මගේ නිවස ගිනි තියනවා කියලා කිව්වා.

නිතින් ගෝක්ලේ – StratNews Global

මං හිතන්නේ ඒක ලොකු පාඩුවක් වුණා? 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මගේ ගෙදර ගිනිතිබ්බම මම ඉල්ලා අස්වෙන්න ඕනේ නැහැ නේ කොහොමත් ?

නිතින් ගෝක්ලේ – StratNews Global

ඔවුන් ඔබව ‘බ්ලැක්මේල්’ කරන්න හැදුවද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

ඔවුන් මගේ ගේ ගිනිබත් කරලා අස්වෙන්නත් කියනවා.

නිතින් ගෝක්ලේ – StratNews Global

ඉන් අනතුරුවයි ඔබ තවත් දැඩි ස්ථාවරයකට පැමිණෙන්න ඇත්තේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

ඊට පස්සේ විරෝධතාකරුවන්ට ඕනේවුණේ පාර්ලිමේන්තුව අත්පත් කරගන්න. වාසනාවකට හමුදා නිලධාරීන් ඒ වෙනුවෙන් කැපවුණා. මම ඒ වෙලාවේ හමුදාවට කිව්වා පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කියලා. වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වළක්වන්න. ඔබට එය සාධාරණීකරණය කරන්න පුළුවන්ද? 

නිතින් ගෝක්ලේ – StratNews Global

මම හිතන්නේ මේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් එය තේරුම් අරගෙන ඉන්නේ? 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

ඔව්. ගොඩක් අය තේරුම් අරගෙන ඉන්නේ. ඔබේ රජයත් නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඒ දෙයම තමයි කරන්නේ. වෙනත් මාර්ගයක් නැහැ.

නිතින් ගෝක්ලේ – StratNews Global

ඔබට ඉන්දියාවට දෙන්න යම් පණිවිඩයක් තියෙනවද? ඉන්දියානු ජනතාව ලංකාව දිහා ගොඩාක් අවධානයෙන් බලාගෙන ඉන්නේ. ජනතාව විතරක් නෙවෙයි රජයත් උදව් කළා. මොකක්ද ඔබට දෙන්න තියෙන පණිවිඩය?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

වචන දෙකයි ඔබට ස්තූතියි!

Leave a Reply

Your email address will not be published.