හිටපු ජනපති බිරිඳට තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකථනයෙන් අමතා තර්ජනය කර රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ කළ පැමිණිල්ලකට අනුවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ඉකුත් සැප්තැම්බර් 22 වැනිදා අයෝමා රාජපක්ෂ මහත්මියගේ ජංගම දුරකථනයට 19 වතාවක් ද, ඉකුත් 23 වැනිදා 08 වතාවක් ද ඇමතුම් ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ ඇමතුම්වලදී සැකකරු විසින් අයෝමා රාජපක්ෂ මහත්මියගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවත්, එම මුදල ලබා නොදෙන්නේ නම් යළි හිටපු ජනාධිපතිවරයාගේ නිවස අසලට ජනතාව එක්රැස්කර පන්නා දමන බවටත් තර්ජනය කර ඇතැයි විමර්ශන නිලධාරින් පවසයි.

සැකකරුට හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳගේ ජංගම දුරකථන අංකය කෙසේ හමුවූයේ දැයි විමර්ශන නිලධාරින් කළ ප්‍රශ්න කිරීමේදි ඔහු පවසා ඇත්තේ තමන් නොදැනුවත්වම එම දුරකථන අංකයට ඇමතුමක් ගොස් තිබු බවය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published.