පිහි, කඩුවලින් පහරදුන් පුද්ගලයෙක් ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 20 වන දින රාගම පොලිස් වසමේ වල්පොළ ප්‍රදේශයේ පිහිටි නිවාස තුනකට මන්නා පිහි සහ කඩුවලින් පහරදී අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි 03ක් ලැබී තිබුණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඊයේ (25) දහවල් කාලයේදී අදාළ සැකකරු මහබාගේ පොලිස් වසමේදී රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි මඟුල් පොකුණ, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත ඔහු විසින් රාගම කිඹුලා ඇළ ප්‍රදේශයේදී පාළු නිවසක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

එම සැකකරු මිනුවන්ගොඩ ගල්ඔළුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවට අනාවරණය වී තිබේ.

අදාළ සැකකරු විසින් 2004 වසරේදී මහබාගේ පොලිස් වසමේ ගල්උඩුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයකුට පිහියෙන් ඇන තුවාල සිදුකිරීම, 2015 වසරේදී මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝානය කිරීම, 2017 වසරේදී ඇලපිටිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම වැනි අපරාධ රැසකට සම්බන්ධ අයෙකි.

මීට අමතරව 2020 වසරේදී මහබාගේ මඟුල්පොකුණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පිහියකින් කපා තුවාල සිදුකිරීම සහ 2015 වසරේදී සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම යන අපරාධ සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඉහත අපරාධ සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මේ වන විට වැලිසර, මීගමුව හා ගම්පහ අධිකරණවල නඩු විභාග වෙමින් පවතී.

අත්අඩංගුවට ගත් සැකකරු අද (26) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.